රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව මත පදනම්වී දෙමළ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමක් ගෙන ඒම ජාතික ජන බලවේගයේ පාලනයක අරමුණ බව ප්‍රකාශයට පත් වී තිබේ.
‘දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන’ බලය බෙදීමක් ඇතුලත්වන බවට දෙමළ ජාතික සන්ධානය විසින් අනුමත කරන ලද යහපාලන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව ඇනහිටියේය.
“අපිත් එම ක්‍රියාවලියේ කොටස්කාරයන් වී සිටියා… ආයෙත් රෝදය හදන්න අවශ්‍ය නෑ. ඒ ව්‍යායාමය මත පදනම් වී අපි ඉදිරියට යනවා,” යි අනුර කුමාර දිසානායක ඉන්දියාවේ පලකෙරෙන ද හින්දු පුවත්පතට කියා තිබුණි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානයට එම ව්‍යවස්ථාවෙන් ද ආරක්ෂාව සැලසෙන බව ජාජබ ජනාධිපති අපේක්ෂකයා බෞද්ධ භික්ෂු සමුළුවකදී සහතික වී තිබුණි.
දෙමළ ජනතාව පහළොස් අවුරුද්දක් පුරා ඉල්ලා සිටින වගවීම, සත්‍යය හෙළිදරව් කිරීම හා යුක්තිය ඉටුකරලීම සම්බන්ධයෙන් ජාජබ ජනාධිපති අපේක්ෂකයා යෝජනා කරන්නේ යුද පීඩිතයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති දේශීය යාන්ත්රණයකි.
“අපේ ඉලක්කය වන්නේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පරිදි දේශීය යාන්ත්‍රන විශ්වසනීය හා අංග සම්පූර්ණ කිරීමයි. පහුගිය ආණ්ඩු කැපවී සිටියේ සත්‍යය වසං කර කාර්යදාමය පමා කිරීමටයි.”
බරපතල යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට විශ්වසනීය සාක්ෂි ඇති යුද්ධයේ අවසන් සමයේ සටන් බිමේ මෙහෙයුම් කළ සෙන්පතියන් ඇතුළු ඉහල පෙලේ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත ජාජබ විශ්‍රාමික හමුදා සාමුහිකය යෝජිත දේශීය යාන්ත්‍රණයේ කවර දායකත්වයක් දරන්නේදැයි දැනගන්නට නැත.
කෙසේවෙතත්, “වගවීම පිළිබඳ ප්රශ්නය ගත්තම, ඒක පලිගන්න ක්‍රමයක් හැටියට නෙවෙයි,” යනුවෙන් මීට ඉහතදී ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසමින් යුද අපරාධ චෝදනා ලබන කිසිවකුටත් තමන් යටතේ වන ආණ්ඩුවකින් දඬුවම් නොකරන බවට අනුර කුමාර දිසානායක සහතික වී තිබුණි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සිය ප්‍රතිපත්ති ප්රකාශනයෙන් පොරොන්දු වුවත් ඊට කල් ගතවිය හැකි බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ද හින්දු පුවත්පතට පවසා තිබුණි. ජනාධිපති පාලනය රටේ මැතිවරණ ක්‍රමය හා නීති පද්ධතිය සමග සමීපව බැඳී පැවතීම ඊට හේතුව ලෙස ඔහු විසින් දක්වා තිබේ.