සීගිරි විලේජ් හා සීගිරිය ලොකු කිරීම මහ අවුලක

0

සීගිරි විලේජ් හා සීගිරිය හෝටල් විශාල කිරීමට කර තිබූ ඉල්ලීම් ප්‍රතික්ෂේප වන ලකුණු පහලවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ පුරාවිද්‍යා නිලධාරීන් විසින් සීගිරිය පුරාවිද්‍යා භූමියට අයත් ප්‍රේරණ කලාපයේ මායිම් සලකුණු කිරීම මේවන විට සිදුකරමින් පවතින අතර අදාළ හෝටල් ඒවා විශාල කිරීමට ඉල්ලා ඇති ප්‍රදේශ එම මායිම්වලට ඇතුළුවීම මේ තත්ත්වයට හේතුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස්‌ මත මායිම් සලකුණු කිරීමේ මෙසේ ආරම්භ කර ඇති අතර ප්‍රේරණ කලාපයට අයත් සීගිරිය පිටත දිය අගලේ සිට යාර 400 ක සීමාව මෙසේ සලකුණු කර මායිම් ගල් දැමීම සිදු කෙරේ.

එම සීමාවේ අනවසර ඉදිකිරීම් 200 කට ආසන්න සංඛ්‍යාවක්‌ මේ වන විට හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යා මැනීම් සිදුකරන නිලධාරියකු කියා සිටියේය.

ගතවූ දශක දෙකක කාලයකදී මෙම අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත් සංචාරක හෝටල් නිවාඩු නිකේතන වෙළෙඳ ව්‍යාපාර හා නිවෙස්‌ ඒ අතර වන බව එම පුරාවිද්‍යා නිලධාරියා පැවැසීය.

ඇතැම් ස්‌ථානයන්හි මායිම් සලකුණු කිරීමට පදිංචිකරවැන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවත් මේ වනවිට ඒ සඳහා පොලිස්‌ ආරක්‌ෂාව යටතේ මායිම් සලකුණු කිරීම සිදු කෙරෙන බව ද එම නිලධාරියා පැවැසීය.

හරිත නගරයක්‌ ලෙස හා ලෝක උරුමයක්‌ ලෙස යුනෙස්‌කෝව විසින් නම්කර ඇති මෙම නගරය සංචාරක කර්මාන්තයක්‌ ලෙස දියුණුවීමේදී හා නාගරීකරණයත් සමඟ එහි සිදුවන ඇතැම් මානව ක්‍රියාකාරකම් නිසා සීගිරිය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමේ අවදානමක්‌ මතුව තිබේ.

කෙසේ වෙතත් සීගිරිය පුරාවිද්‍යා ප්‍රේරණ කලාපයේ ඉදිකිරීම් සිදුකර ඇති හඳුනාගත් පුද්ගලයන් 38 දෙනකු අතරින් පුද්ගලයින් සිව් දෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් ඉකුත් මාර්තු මාසයේදී කටයුතු කර තිබිණි.

සෙසු පිරිසට එරෙහිව නීsතිය ක්‍රියාත්මක නොකරන ලෙස දේශපාලන අධිකාරිය විසින් මාතලේ දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටුවේදී කරන ලද දැනුම්දීමක්‌ මත මේ වනවිට එම ඉදිකිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලුකාරී තත්ත්වයක්‌ උද්ගතව ඇති බව පුරාවිද්‍යා අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.

අදාළ තත්ත්වය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ‍්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔහුට අද දිනය පුරා රැස්වීම් ඇති බැවින් සම්බන්ධකර ගැනීමට නොහැකි බව එහි කනිෂ්ඨ නිලධාරියකු ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.

පසුව අප පුරා විද්‍යා සීගිරිය කලාප කාර්යාලයේ නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එහි ප්‍රධානියා නුවර පුරාවිද්‍යා කාර්යාලයට ගොස් ඇති බවත්, අනෙක් නිලධාරීන් කාර්යාලයේ නොමැති බවත් දුරකථනයට පිළිතුරුදුන් එහි සේවිකාවක් අප සමඟ කියා සිටියාය.

Facebook Comments

wedding people