ශ්‍රී ලංකාවේ ජාතික විභාග: මෑතක සිට ප්‍රශ්න සහගත වන්නේ ඇයි?

0
143

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පැවැත්වෙන ජාතික මට්ටමේ ප්‍රධාන විභාග තුන ලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග හැඳින්විය හැකිය. වසරකට මෙම විභාග තුන සඳහා ලක්ෂ ගණනක් සිසුහු පෙනී සිටිති. මුල් විභාග දෙකෙන් ම ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් වැඩි පාසලකට යාමට ද අවස්ථාව හිමිවන නිසා සහ උසස් පෙළ විභාගය යනු විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය කරන තීරණාත්මක විභාගයක් ද වන නිසා බොහෝ සිසු සිසුවියන් උත්සහ කරන්නේ තමාට හැකි උපරිමයෙන් මෙම විභාග සමත් වීමට ය.

කෙසේ නමුත් මෑතක දී දිගින් දිගටම මෙම විභාග සම්බන්ධයෙන් විවිධ ගැටළුකාරී තත්වයන් පැන නැගුණි. මෑතක දී පැවැත්වූ බොහෝ විභාග වල දී ප්‍රශ්න පත්‍රය පිට වූ බවට ප්‍රචාරයන් පැතිරුණු අතර, ඇතැම් ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න වල නිරවද්‍යතාවය, පිළිතුරු සම්බන්ධ ගැටළු, විෂය නිර්දේශයෙන් පරිබාහිර කරුණු අඩංගු වීම වැනි ප්‍රශ්න මතු වී තිබුණි.

ප්‍රශ්න පත්‍ර කලින් පිට වූ අවස්ථා

මෑතක දී සිදු වූ කැපීපෙනෙන ප්‍රශ්න පත්‍ර පිටවීමක් ලෙස 2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීම හැඳින්විය හැකිය. ඒ අවස්ථාවේ දී පිට වූ ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර, ඒ වෙනුවට නැවත කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයට සහ දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට එම විෂය හැදෑරූ සිසුන්ට සිදු විය.

මීට අමතර ව වාර විභාග වල විවිධ පළාත්වලට අදාළ ප්‍රශ්න පත්‍ර පිටවීම් ද පසුගිය කාලයේ වාර්තා විය.

2012 වසරේ දී ද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයද කලින් පිට වූ අතර එහි දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිදහස් ලකුණු 19ක් එවර විභාගයට පෙනී සිටි සිසුන්ට ලබා දෙන ලදි.

මෙවර ගැටළුව කුමක් ද?

මැයි මාසයේ දී පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයන් පැන නැගී තිබුණි. පළමුව එහි ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිට වූවේ යැයි මාධ්‍ය වාර්තා පළ වූ තිබූ අතර, විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණේ එය එවැනි සිදුවීමක් නොව, එක් ශිෂ්‍යයෙකු ප්‍රශ්න පත්‍රය ඡායාරූපගතකර ජංගම දුරකතනය හරහා හුවමාරු කරගැනීමේ සිදුවීමක් බවය.

පසුව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු අතර එහි ද විභාගයට අදාළ විෂය නිර්දේශයට අයත් නොවන ප්‍රශ්න කිහිපයක් අඩංගු වී තිබූ බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් සලකා බැලූ විභාග දෙපාර්තමේන්තුව එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා දීමට කටයුතු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ඉන්පසු සිංහල ප්‍රශ්න පත්‍රයේ ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය සම්බන්ධ ගැටළු මෙන් ම චිත්‍ර ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රායෝගිකව චිත්‍රය ඇඳීමට ලබා දෙන කඩදාසියේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්වයක් ඇති වී තිබේ.

විභාගයට පෙනී සිටි සිසුන් කියන්නේ කුමක් ද?

කවිඳු සත්සර ඒකනායක යනු ත්‍රීකුණාමලයේ කන්තලේ, අග්බෝපුර ප්‍රදේශයේ ජීවත්වන සිසුවෙකි. ඔහු මෙවර සමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර, ඔහුගේ වැඩිමහල් සොයුරිය වන කාවින්ද්‍යා සිත්මි ඒකනායක පසුගිය වසරේ දී තාක්ෂණ විෂය ධාරාව යටතේ උසස් පෙළ සඳහා කෘෂි විද්‍යාව විෂයට පෙනී සිටි ශිෂ්‍යාවකි. කවිඳු පවසන්නේ මෙවර විභාගයට විවිධ හේතු නිසා තමා තරමක් චකිතයෙන් මුහුණ දුන් බවයි.

” ගිය අවුරුද්දේ අක්කට කෘෂි විද්‍යාව පේපර් එක ආපහු ලියන්න වුණාම අක්කා ආපහු අඬ අඬ තමයි පාඩම් කළේ. ඊට පස්සේ මේ පාර මම විභාගය ලිවුවම මුලින් ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිට වෙලා කියලා ආරංචියක් ආවම නම් මටත් බය හිතුණා ආපහු විභාගේ ලියන්න වෙයිද දන්නේ නෑ කියලා. හොඳ වෙලාවට ඒක එහෙම වෙලා නෑ කියලා පස්සේ දැනගත්තා,” ඔහු පවසයි.

“විද්‍යාවට අපට විභාගයට එන කොටස් ගැන කලින් ම ඉස්කෝල්න් කිවුවා. සැරින් සැරේ ඉස්කෝල වහන්න වුණ නිසා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ කියලා අපට ඉස්කෝලෙන් කිව්වේ. ඒ නිසා විභාගයට එන්නෙ නෑ කියපු ඒවා වැඩිය පාඩම් කරන්න ගියේ නෑ. නිකන් බලාගෙන ගියා. ඒ වුණාට ඒ කොටස්වලිනුත් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. අක්කලාට වුණ දේත් එක්ක ආයේ විභාගෙ ලියන්න වෙයිද කියන බය සැරින් සැරේ හිතුණා මේ දේවල් ආරංචි වෙද්දි.”

ඔහුගේ සොයුරිය කාවින්ද්‍යා ද බීබීසී සිංහල වෙත අදහස් දැක්වූවා ය. “මුලින් ම කෘෂි විද්‍යාව ලියලා ආවට පස්සේ තමයි ආරංචි වුණේ පේපර් එක කලින් ම එළියට ගිහින් කියලා. ඊට පස්සෙ විෂයන්වලටත් මම හරිම පීඩනයෙන් තමයි උත්තර ලිවුවේ. ආපහු කෘෂි විද්‍යාව ලියන්න තියෙනවා කියන බය හිතේ තිබුනා. ප්‍රතිඵල ගැනත් බයක් තියෙනවා. තවම ප්‍රතිඵල ආවේ නෑනේ,” ඇය පවසයි.

ගුරු සංගම්වල ප්‍රතිචාරය

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ මෙම ගැටළු විභාගවල විශ්වසනීයත්වයට සහ දරුවන්ගේ මානසිකත්වයට බලපෑම් කරන බවයි.

“ශ්‍රී ලංකාවේ විභාගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලෝකයේ යම් පිළිගැනීමක් තියෙනවා. අතීතයේ පටන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ තත්ත්වය රැකගෙන ආවා. නමුත් මෑතක දී පටන් හැම වතාවකම විභාගයක දී මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙනවා. මෙවරත් ඉංග්‍රීසි, විද්‍යාව, චිත්‍ර හා සිංහල වගේ ප්‍රශ්න පත්‍ර ගණනාවක ම ගැටළු මතුවෙලා තියෙනවා. මේ ප්‍රශ්න නිසා බිඳවැටෙන්නේ විභාගවල විශ්වසනීයත්වය. මේක වක්‍රාකාරයෙන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය බිඳ දාන්න කරන සැලසුමක් ද කියලා අපට සැකයක් පවතිනවා,” ඔහු පෙන්වා දෙයි.

“විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම වළවක්වන්න කියලා විභාගයට සතියකට කලින් උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හැම දෙයක්ම නවත්වනවා. ඒත් ගිය පාර කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙකම පිටවුණේ නැද්ද?” මහින්ද ජයසිංහ විමසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයක් දරුවන්ගේ මනසිකත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

“මේ වගේ ප්‍රශ්නයක් විභාගේ මුලදිම සිදුවුණාම ළමයා විභාගයට මුහුණ දෙන්නේ පීඩනයක් එක්ක. මේ තත්ත්වය ළමයා හොඳින්ම සූදානම් වෙලා ඉන්න විෂයන් වලට පවා බලපෑමක් ඇති කරනවා.”

ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් පෙන්වා දෙන්නේ මෙවර චිත්‍ර ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුව රජයට අත් හල නොහැක්කක් බවයි.

“මෙවර අපි දැක්කා විවිධ ප්‍රශ්න පත්‍රවල විවිධ ගැටළු ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන් ම චිත්‍ර ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුව රජයට අත් හරින්න බැරි ප්‍රශ්නයක්. දරුවන්ට චිත්‍රය අඳින්න මෙවර ලබා දීලා තිබෙන කඩදාසිය දිය සායම් සඳහා සුදුසු කඩදාසියක් නොවෙයි. දිය සායම් වලින් පාට කළාට පස්සේ ඒවා බොඳ වෙලා ගොස් තියෙනවා. මේ වගේ තත්ත්වයක දි දරුවෙක් මොකක්ද කරන්නේ? අනික දරුවට පිළිතුරු සපයන්න සුදුසු මට්ටමේ කඩදාසියක්වත් දීගන්න රජයට හැකියාවක් නැද්ද කියන ප්‍රශ්නය මෙතැන තියෙනවා,” ඔහු පෙන්වා දෙයි.

“ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රශ්න තිබුණත් සාමාන්‍යයෙන් විභාග දෙපාර්තමේන්තුව කියන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගත් තැනක්. ඉඳලා හිටලා මොනවා හරි වැරදීමක් වෙන එක අපට පිළිගන්න පුළුවන්. නමුත් දිගින් දිගටම මේ වගේ විවිධ ප්‍රශ්න ඇතිවෙන එක විශාල ගැටළුවක්. අවම වශයෙන් පළාත් වාර විභාග ටිකවත් හරියට තියාගන්න බෑ ඒ ප්‍රශ්න පත්‍ර පිට වෙලා. මෑතක දි රජය ගෙන ආව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව යටතේ වර්තමාන අධ්‍යාපන ක්‍රියාවලියට විවිධ සංශෝධන යෝජනා කරලා තියෙන නිසා, විභාග දෙපාර්තමේන්තුව මේ විදිහට වට්ටවන්න හදන්නේ එහි වැඩක් විදිහට ද කියන එක ගැන අපට සැකයක් තියෙනවා,” අමිල සඳරුවන් පෙන්වා දුන්නේ ය.

‘මෙවර ප්‍රශ්න පත්‍ර උසස් මට්ටමක තියෙනවා’

මෙම ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළුව පිළිබඳව බීබීසී සිංහල විසින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගෙන් විමසීමක් කරන ලදි. කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ මෙවර ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් තමා සෑහීමකට පත්වන බවයි.

“මෙවර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමක් සිදුවුණා කිවුවාට එහිදී සිදුවෙලා තිබුණේ ශිෂ්‍යයෙක් විභාගය අතරතුර දී ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකරගෙන ජංගම දුරකතනය හරහා හුවමාරු කරගැනීමේ සිදුවීමක්. මේ සම්බන්ධයෙන් අපි මේ වන විට ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා,” කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ඔහු පළ කළේ මෙවන් අදහසකි.

“වසංගත තත්ත්වය සහ ඉන්ධන හිඟය වගේ ප්‍රශ්න නිසා පාසල් වරින් වර වහලා තබන්න සිදුවුණා. ඒ නිසා සිසුන්ට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන්න බැරිවුණා. විභාග දෙපාර්තමේන්තුව විසින් ඒ අනුව පාසල්වලට දැනුම් දීලා තිබෙනවා අත්‍යවශ්‍යයෙන් ම විෂය නිර්දේශවල ආවරණය කළ යුතු කොටස්. ඒවායින් තමයි ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අපි ඒ සලකුණු කරපු කොටස්වල නොමැති නමුත් සම්පූර්ණ විෂය නිර්දේශයේ ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර තිබුණා,” ඔහු පවසයි.

“ඒ සම්බන්ධයෙන් විවිධ අය දරුවන්ට අසාධාරණයක් වුණා කියලා පෙන්වා දුන්න නිසා අපි තීරණය කළා ඒ ප්‍රශ්න වලට නිදහස් ලකුණු දෙන්න. නමුත් අපට සමහර දරුවන්ගෙන් දුරකතන ඇමතුම් පවා ලැබුණා එහෙම නිදහස් ලකුණු ලබා දෙන්න එපා, ඔවුන් ඒවාට පිළිතුරු ලිව්වා කියලා. ඇත්තෙන්ම මෙවර විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මම සෑහීමකට පත්වෙනවා. ඒවා හොඳ ප්‍රමිතියක් සහිත ප්‍රශ්න පත්‍ර විදිහට මම දකිනවා.”

ඉදිරියේ දී විභාග වල රහසිගතභාවය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.

“පසුගිය වසරේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට අදාල අයට විරුද්ධව අපි මේ වන විට නඩු පවරලා නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සාමාන්‍යයෙන් විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලිය ඉතා රහසිගතව සිදුවන්නක්. එයට සම්බන්ධවන හැමෝම ගිවිසුමක් අත්සන් කරනවා. ඒ වගේ මුද්‍රණය, බෙදා හැරීම පවා සිදුවන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. මීට අමතරව ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සම්බන්ධ ගැටළු මඟහරවා ගැනීමට, විශේෂ කේත ක්‍රමයක් යටතේ ප්‍රශ්න බැංකුවක් සැකසීමට අදාළ කටයුතුත් කරගෙන යමින් ඉන්නවා.”

‘පරීක්ෂණ සඳහා ස්වාධීන කමිටුවක්’

මෙවර විභාගය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු පිළිබඳව විමර්ශනය කිරීමට ස්වාධීන කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර බීබීසී සිංහල කළ විමසීමක දී පැවසුවා ය.

එය අධ්‍යාපන අමාත්‍යංශයට පරිබාහිර ස්වාධීන පුද්ගලයන්ගෙන් සහ විශ්‍රාමික අධ්‍යාපන නිලධාරීන්ගෙන් යුක්තව සකස් කිරීම සිදුකරන බව ඇය පැවසුවා ය.

“විවිධ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් වුණා කියන වැරදි දැන් සිදුවෙලා ඉවරයි. ඒ නිසා ඒවා ගැන සොයා බලලා කළ යුතු දේවල් සහ ඉදිරියට ඒවා වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැන සොයා බලන්න අපි ස්වාධීන කමිටුවක් පත් කරන්න තීරණය කරලා තිබෙනවා. මේ දිනවල ඒ සඳහා සාමාජිකයන් නම් කිරීම කරනවා. ඉදීරියේ දී ඒ කමිටුව සොයාගත් දේවල් අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

BBC සිංහල

Facebook Comments

Ivory Agency Ad