බෙහෙත් ගන්න පාරට ගිහින් හමුදාවෙන් තිරිසන් සැලකිලි

0

තමන් පීඩා විදින රෝගී තත්වයකට ඖෂධ සොයා ගැනීම සදහා වීදිබට අයකුට සතෙකුට මෙන් පහර දුන් බවට ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වී තිබේ.

මාරාන්තක වසංගත ව්‍යාප්තිය හමුවේ රට පුරා පනවා තිබු සංචරණ සිමා උල්ලංඝණය කළ බවට චෝදනා නගා එරාවූර් වැසියන් පිරිසකට මහ මාර්ගය අයිනේ දණ ගස්වා ඉහලට අත් ඔසවා සිටින ලෙස හමුදා භට පිරිස් නියෝග කර තිබෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබුනි.

එම අඩන්තෙට්ටම සම්බන්ධයෙන් චෝදනා ලබන සෙබළුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදා සාමාජිකයන් අතින් නින්දාවට හා පහර කෑමකට ලක්වු හතලිස් හතර වයසැති මුස්ලිම් ජාතික එරාවූර්හි මොහොමඩ් ඉස්මයිල් මර්සූක් ඉන්දියාවේ හින්දු පුවත්පතට පවසා ඇත්තේ තමන් බෙහෙත් ලබා ගැනීමට නිවසින් පිටත් වු බව යුද හමුදා සෙබළුන්ට දන්වා සිටියත් තමන්ට දණ ගසන ලෙස යුද හමුදාව නියෝග කළ බවයි.

“මම අපේ ගමේ ෆාමසියෙන් දියවැඩියාවට ගන්න බෙහෙතුයි, තව ළඟ පාතින් හාල් ටිකකුයි ගන්න බයිසිකලෙන් ගියේ. මම මං ගන්න ගිය පෙති වල හිස් පෙට්ටියකුත් පෙන්නුවා. ඒත් හමුදාවෙන් මට බල කළා, එතන හිටිය තවත් කීප දෙනෙක් එක්ක දණ ගහගෙන අත් උස්සං ඉන්න.”

තමන්ගේ රෝගී තත්වය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් දැනුවත් කළද අමානුෂික ලෙස තමන්ට පහරදුන් බවත් ඔහු හින්දු පුවත්පතට වැඩි දුරටත් පවසා තිබේ.

“මම රෝගියෙක් කියලත් කිව්ව, බෙහෙත් ගන්න අවසර තියෙන නිසා මං ආවෙ ඒකට විතරයි කියලත් මං සිංහලෙන් එයාලට පැහැදිලි කරල කිව්ව. ඒත් එයාලා මං කිව්ව දේ ඇහුවෙ නැතුව, හරකෙක්ට ගහනව වගේ මට ගැහුවා,” යි ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව ජුනි 20 වැනිදා නිවේදනය කර තිබුනේ එම සිදුවීමට සම්බන්ධ සියලු හමුදා සාමාජිකයන් “වෙනත් ස්ථාන” වෙත අනුයුක්ත කර ඇති බවයි.

“ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු ඊයේ (19) දින එරාවූර් ප්‍රදේශයේ වීදියකදී යුද්ධ හමුදා ගෞරවයට හා විනයට පටහැනි ලෙස කටයුතු කරමින් සිවිල් වැසියන් කිහිපදෙනෙකුට හිරිහැර වන අයුරින් කටයුතු කල බව සඳහන් කරමින් ඒ සබැදි ඡායාරූප සමාජ මාධ්‍යජාලවල පලවීමත් සමග ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත එම සිදුවීමට සම්බන්ධවු සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් මේවන විට රාජකාරියෙන් ඉවත් කරවෙනත් ස්ථාන වෙත අනුයුක්ත කර ඇත.”

මෙම සිදූවීම සම්බන්ධයෙන් විධිමත් මූලික පරීක්‍ෂණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලීසිය විසින් ආරම්භකර ඇති අතර එම පරීක්‍ෂණයෙන් කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මැදිහත් කරුවන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට යුද්ධ හමුදාධිපති විධානය අනුව කටයුතු කෙරෙනු ඇති බව එහි වැඩි දුරටත් සඳහන්ව තිබුනි.

Facebook Comments

wedding people