දිය රකුසාට බිලිවී අවුරුද්දකට 800ක් මරුට

0

සෑම වසරකම ශ්‍රී ලාංකිකයන් අටසීයක් පමණ දියේ ගිලීමෙන් මිය යන බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය පවසන්නේ එය නොදැනුවත්ව සිදුවන අනතුරුවලින් මිය යන සාධක අතුරින් දෙවැනි සාධකය බවයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේදී ගෝලීය දියේ ගිලීම වැළැක්වීමේ පළමු යෝජනාව සම්මත කර, ජූලි 25 ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

දියේ ගිලීමෙන් වසරකට ලොව පුරා 220,000 අධික පිරිසක් මිය යන අතර, ඉන් තුනෙන් එකක් වාර්තා වන්නේ දකුණු ආසියානු රටවලිනි.

ගෝලීය වශයෙන් දියේ ගිලීමෙන් වැඩිපුරම මරණයට පත්වන්නේ වයස අවුරුදු 1-4 අතර ළමුන් බවයි ජාතික අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පවසන්නේ.

අවුරුදු 1-9 අතර ළමුන්ගේ මරණ සඳහා ප්‍රධානතම හේතුව දියේ ගිලීම බවට හඳුනාගෙන ඇති අතර වින්දිතයින්ගෙන් බහුතරය වයස අවුරුදු 21 ත් 60 ත් අතර ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයට අයත් බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

මරණ හැරුණු විට, දියේ ගිලීමෙන් පසු බේරාගනු ලැබුවත්, දියේ ගිලී සිටි කාලය තුළ මොළයට ලැබුණු ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හෝ නොමැතිවීම, ඔවුන්ගේ මතකය සම්බන්ධ ගැටලු ඇතුළු ඉගෙනීමේ දුර්වලතා මෙන්ම මූලික ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නැතිවීම දක්වා දිගුකාලීන ආබාධවලට හේතුවිය හැකිය.

දියේ ගිලීම මහජන සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව සමාජ ආර්ථික සංවර්ධන අභියෝගයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය පෙන්වා දෙයි.

“දියේ ගිලීම් සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස නුසුදුසු මිනිස් හැසිරීම හඳුනාගෙන ඇත. එම නිසා දියේ ගිලීම්වලින් වන අනතුරු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, අනාරක්ෂිත ජල මූලාශ්‍ර ආරක්ෂා සහිත කිරීම, පිහිනුම් කුසලතා වැඩිදියුණු කිරීම, දියේ ගිලිණු පුද්ගලයන් ඉන් ගලවා ගැනීමේ පුහුණුව, යනාදිය ජල සුරක්ෂිතතා සංස්කෘතියක් ඇති කිරීමට ඉතා වැදගත් වේ. ”

තවද රටේ ජල සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා නව නීති රීති හා රෙගුලාසි හඳුන්වාදීම ද අත්‍යවශ්‍ය බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග වැඩි දුරටත් පෙන්වා දෙයි.

Facebook Comments

wedding people