ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලමින් මාස තුනකට ඉහතදී ආරම්භ කළ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයට පසුගිය සති අන්තයේ දී පොලීසිය බාධා පැමිණවීම සම්බන්ධයෙන් දෙමළ ජාතිකවාදී පක්ෂයක් මැතිවරණ කොමසාරිස්වරයාටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කර තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) ප්‍රධාන ලේකම්, සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් අගොස්තු 24 වැනි සෙනසුරාදා නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් අත් පත්‍රිකාවක් බෙදමින් සිටියදී පොලීසිය එය වලක්වා තිබුනේ ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලීම තහනම් බව පවසමිනි.
තම දැනුවත් කිරීමේ ව්‍යාපාරයට බාධා කිරීම නීති විරෝධී බවට චෝදනා කරන ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිට එරෙහිව විනයානුකුලව පියවර ගෙන යුක්තිය ඉටු කරන ලෙසයි.
“ඡන්දේ දෙන්න එපා කියලා, කියලා තියනවානේ. මේක බෙදන්න බෑ තහනම්. පෙලපාලි යෑම තහනම් කරලා තියෙන්නේ,” යනුවෙන් පොලිස් නිලධාරියකු මන්ත්‍රීවරයා වලක්වනු වීඩියෝ ගතව තිබේ.
දෙමළ ජනතා නියෝජිතයා හමුවේ තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා සිංහල බසින් තවදුරටත් සදහන් කළේ එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට විරුද්ධ බවයි.
“මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධියි කියන්නේ, මේකේ ඡන්දේ දෙන්න එපා කියලා මිනිස්සුන්ට බලපෑම් කරන නිසා. එහෙම කරන්න බෑ. වහාම නවත්වන්න.”
ඡන්දයෙන් වැළකී සිටීමට කරන ඉල්ලීමක් ව්‍යවස්ථා විරෝධී වන්නේ කවර වගන්තියක් යටතේ දැයි ස්ථානාධිපතිවරයා පැහැදිලි කළ බවක් දැක ගන්නට නැත.
පොලිස් බාධා කිරීම් හමුවේ සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුනේ ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම්, ඡන්ද වර්ජනයක් ඉල්ලා සිටිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
“මේ රට ඉදිරියට ගෙනියන්න, මේ රටේ ඒකීය රාජ්‍ය දේශපාලන ක්‍රමය ඉවත් කරලා ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා කියලා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියනවානම් එකට සහාය දෙනවා කියලා අපි කියනවා.”
ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් කටයුතු කිරීම සඳහා රාජ්‍ය නායකයකු තෝරා ගැනීම සඳහා කෙරෙන්නක් ලෙසින් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස TNPF උතුරු නැගෙනහිර දැනුවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබුනේ මැයි මාසයේය.
ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලමින් ජනතාව දැනුවත් කිරීම අපරාධයක් ලෙස සලකා එය වලකාලීමට කටයුතු කරනවාදැයි පොලිසියෙන් ප්‍රශ්න කළ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රශ්න කළේ දෙමළ ජනයාට පොලීසිය යුක්තිය ඉටුකරනවාද යන්නයි.
“නමුත් එකක් කියන්න. මේ රට විනාශ කරලා ප්‍රපාතයකට ගෙනල්ලා තියනවා. මේ රටේ දේශපාලන ක්රමයේ වෙනසක් ඇති කරන්න යන්නේ නැ. ඒ විනාශය කරලා පොලීසියෙන් දෙමළ ජනයාට යුක්තිය තියනවාද? ”
පොලිස් බාධා කිරීම් හමුවේ ජනතාව දැනුවත් කිරීම අත් හිටුවීමට එකග වු සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා රටේ දේශපාලන ක්රමයේ වෙනසක් ඇති කිරීමට මැදිහත් වන්නැයි පොලීසියෙන්ද ඉල්ලා සිටියේය.
“අපි මේක නවත්තනවා. මේ රටේ දේශපාලන ක්රමයේ වෙනසක් ඇති කරන්න කියලා ඔබේ පාලකයන්ට කියලා වෙනසක් ගේන්න.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර දිනයක පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක විසින් මැයි මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමත් සමගම වර්ජනය සඳහා වන ඉල්ලීම ලිඛිතවම දෙමළ ජනතාව අතර බෙදා හැරීමේ කටයුතු දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ආරම්භ කර තිබුනි.