ගිනිගත් නැවෙන් මෙන්ම ජනමාධ්‍යයෙන්ද “ධීවර ප්‍රජාවට අනතුරක්” (VIDEO)

0

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී සතියක් තිස්සේ ගිනි ඇවිලෙන වෙළෙඳ නෞකාවෙන් සාගරයට එක් වන තෙල් හා විෂ ද්‍රව්‍ය හේතුවෙන් මෙරට ධීවර ප්‍රජාවට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනව බලපෑම් එල්ල විය හැකි බවට ධීවර සංගම් නායකයෝ අනතුරු අඟවති.

පාරිසරික වශයෙන් සිදුවන හානිය නිසා ඇති වන බලපෑම් මෙන්ම මත්ස්‍ය පාරිභෝජනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන වගකීම් විරහිත ප්‍රකාශද ධිවර ප්‍රජාවට හානි පමුණුවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට බලපෑමක් එල්ලකරමින් මැයි 20 වනදා සිට ගිනි ගැනීමට ලක්වු MV XPress Pearl නෞකාවේ ගින්න ඉන්දු ලංකා මෙහෙයුමකින් පාලනය කරගෙන ඇති බව දෙරටේ බලධාරීහු පවසති.

“ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ගිනි නිවීමේ කණ්ඩායම් දැරූ දැඩි උත්සහය ඵලදරයි. MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉපිලුම් ගැඹුර ස්ථායිව පවතින අතර නැවෙහි ඇලවීමක් පෙන්නුම් නොකරයි. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න,” යි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ වජ්‍ර, වෛභාව් නෞකා සහ එක් ගුවන් යානයක් ඒකාබද්ධ ගිනි නිවීමේ මෙහෙයුමට එක්ව සිටින අතර පරිසර හානියට මුහුණදීම සම්බන්ධ විශේෂතාව සහිත සමුද්‍ර ප්‍රහාරී නෞකාව හෙට දිනයේ පැමිණීමට නියමිත බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

නෞකාවෙන් ඉන්ධන කාන්දු වීමක් සිදු වුවහොත් එය ධීවර ප්‍රජාවට විශාල බලපෑම් එල්ල කරන බවයි ජාතික ධීවර සහයෝගීතා ව්‍යපාරය පවසන්නේ.

කාන්දු වන ඉන්ධන ධීවර ආම්පන්න වල තැවැරීමෙන් මසුන් මැරීමේ කටයුතු වලට බාධා පැමිණිය හැකි බව පෙන්වා දෙන එම ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර අවධාරණය කරන්නේ නැවෙන් මුහුදට මිශ්‍ර වු රසායනික ද්‍රව්‍ය කොරල් පර තුළ තැන්පත් වී කොරල් පර විනාශ වීමට ලක් වූවහොත් ධීවර කර්මාන්තයට දිගු කාලීන බලපෑම් එල්ල විය හැකි බවයි.

කෙසේවෙතත්, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පවසා ඇත්තේ ගුවනේ සිට කරන ලද නිරීක්ෂණ අනුව ඉන්ධන කාන්දුවක් දැකගැනීමට නොමැති බවයි.

මසුන් බෝවීමට මෙන්ම ඔවුන්ගේ ආහාර නිශ්පාදන ක්‍රියාවලියට මහඟු සේවයක් ඉටු කරන කොරල් පර විනාශ වීම වළක්වා ගැනීම සදහා බලධාරීන් කඩිනමින් ක්‍රියා කිරීමේ වැදගත් කමද ඔහු පෙන්වා දෙයි.

මුහුදේ මසුන් මැරීමේ යෙදෙන්නන්ට අමතරව මීගමුව කළපුව තුලද තුන් දහසකට අධික පිරිසක් ධීවර කටයුතු වල යෙදී සිටින බව පෙන්වා දෙන ධීවර සංගම් නායකයා අවධාරණය කරන්නේ එම කලපුව තුලට ඉන්ධන කාන්දු වීම වළකාලීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

ගිනිගන්නා නැවෙන් යම් තෙල් කාන්දුවක් හට ගතහොත් එය මිගමු කලපුවට ඇතුල්වීම වැලැක්විම සඳහා ආරක්ෂිත වැටක් මේ වන විටත් මීගමුව කොතලාවල පාලමට යටින් ස්ථාපිත කර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.

සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත පවසන්නේ නැවෙන් කාන්දුවන ඉන්ධන වෙරළට පැමිනීමට පෙර නැව ආසනානයේදීම නවතා ගැනීම ඉතා වැදගත් බවයි.

එමගින් සිදු විය හැකි විනාශය අවම කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

නැව ගිනි ගැනීමට ලක් විමෙන් පසු ඒ අවට ප්‍රදේශයේ ධිවර කටයුතු මේ වන විට තහනම් කර තිබෙන අතර නැවත මසුන් මැරීමේ කටයුතු ආරම්භ කළ හැකි දිනයක් මේ තාක් ප්‍රකාශ කර නොතිබීමෙන් ධීවරයන් විශාල පිරිසකට රැකියාව අහිමි වී ඇති බවත් ධිවර සංගම් නායකයෝ පෙන්වා දෙති.

මාරාන්තික කොරෝනා වසංගතය හේතුවෙන් ධීවර ප්‍රජාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක නැව ගිනි ගැනීම නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ධීවරයන්ට මුහුදු යෑම තහනම් වීමෙන් ඔවුන් තව දුරටත් ආර්ථික අර්බුදයකට මුහුණ පාන බව අවධාරණය කරන ධීවර සංගම් නායකයන් දෙදෙනාම ප්‍රශ්න කරන්නේ මේ මොහොතේ එම ධීවරයන්ට ආණ්ඩුවෙන් ලැබෙන සහන මොනවාද යන්නයි.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ දෛනික ආදායම අහිමි වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ධීවරයින්ට සහන වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

ගිනි ගැනීමට ලක්වු නැවෙන් ආණ්ඩුව ලබා ගන්නා වන්දිමුදලෙන් කොපමණ ප්‍රමාණයක් රැකියා අහිමි වු ධීවරයන් වෙනුවෙන් වෙන් කෙරෙන්නේ දැයි ධීවර නායක හර්මන් කුමාර ප්‍රශ්න කරයි.

“ආණ්ඩුව ධීවරයන් විකුණපු මිල කීයද එයලා එයාලා අපිට කියන්න ඕනේ” යි සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත සඳහන් කළේය.

ගිනි ගත් නැවෙන් සාගරයට එක්වු ප්ලාස්ටික් සහ රසායනික කොටස් මසුන් ආහාරයට ගන්නා බැවින් මාළු ආහාරයට ගැනීම නුසුසුදු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරද ධීවර කර්මාන්තයට දැඩි පලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවයි ධීවර සංගම් නායකයන් පවසන්නේ.

යම් කිසි අයුරකින් මසුන් එවැනි දෑ ආහාරයට ගතහොත් ඔවුන් මිය යා හැකි බව පෙන්වා දෙන ධිවර සංගම් නායක අරුණ රොෂාන්ත අවධාරණය කරන්නේ ධිවරයන් විසින් අල්ලනු ලබන්නේ පන සහිත මාළු බැවින් අනියත බියක් ඇති නොකරගත යුතු බවයි.

ධීවර සංගම් නායකයා තව දුරටත් අවධාරණය කරන්නේ මසුන්ද ආහාරයට ගැනීමට ප්‍රිය කරන්නේ ප්‍රානය සහිත ආහාර බවයි.

මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට බලපෑමක් එල්ලකරමින් මැයි 20 වනදා සිට ගිනි ගැනීමට ලක්ව ඇති MV XPress Pearl නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් තුළ තිබූ, ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක ආදිය සෑදීමට යොදා ගන්නා පොලිතීන් කැට සහ විවිධ ඝනත්ව වලින් යුත් ප්ලාසිටික් කැට වර්ග කිහිපයක්ම ගොඩබිමට ගසාගෙන විත් තිබුනි.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් පැවැති බව මේ වන විට අනාවරණය වී තිබේ.

කටාරයේ හා ඉන්දියාවේ වරාය දෙකකින්ම එම නෞකාවට ඇතුළුවීමට අවසර නොදෙන ලද බවට පළවූ තොරතුරු අසත්‍ය බව නැව් සමාගම පවසයි.

“යාත්‍රාව ඉන්දියාවේ හසීරා වරායටත්, කටාරයේ හමාඩ් වරායටත් ඇතුල් කිරීමට අවසර නොලද බවට පලවන වාර්තා වැරදිය. යාත්‍රාව සිය කලින් සැලසුම් කළ කොළඹ ගමනේ යෙදීමට පෙර එම වරාය දෙකේම බදු බෑමේ සහ පැටවීමේ කටයුතු වල නිරත වී තිබේ,” යයි පර්ල් එක්ස්ප්‍රස් සමාගම සිංගප්පුරුවේ සිට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත්, නැවේ ඇසිඩ් කාන්දුවෙමින් තිබූ බහාලුමක් බාරගැනීම එම වරාය දෙකම විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් සමාගම පිළිගනී.

“නයිට්‍රික් අම්ලය කාන්දුවෙමින් තිබු කන්ටේනරයක් බාන්නට වරාය දෙකටම අයැදුම් කරන ලද නමුත් ලැබුණු උපදේශය වූයේ කාන්දුවෙන අම්ල සම්බන්ධයෙන් පියවර ගැනීමට විශේෂ පහසුකම් හෝ විශේෂඥතාව වහාම ලබා දීමේ හැකියාවක් නොමැති බවයි.”

පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානයේ (Pearl Protectors) සම්බන්ධීකාරක, මුදිත කටුවාවල ඊයේ මාධ්‍ය වෙත හෙළි කර තිබුනේ සාගර ජලයට මුසුවී ගොඩබිමට ගසාගෙන ඇවිත් තිබෙන ප්ලාස්ටික් කැට මගින් මත්ස්‍යයන් ප්‍රමුඛ මුහුදු ජීවින්ට සිදු විය හැකි හානිය අති මහත් බවයි.

එවැනි කැට මත්ස්‍යන් විසින් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යට හානි පමුණුවන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබුනි.

මිය ගිය මත්ස්‍යන්ගේ කරමල් තුළ ප්ලාස්ටික් කැට කිහිපයක් රැදී තිබෙන අයුරු ජන මාධ්‍ය විසින් වාර්තා කර තිබුනි. නමුත්, එම මතය පිළි ගැනීමට ධිවර නායක අරුණ රොෂාන්ත සුදානම් නැත.ඔහු පවසන්නේ වාරකන් කාලය තුළ මිය ගිය මසුන් කිහිප දෙනෙකු ගොඩගැසීම සාමාන්‍ය තත්වයක් බවයි.

කෙසේ නමුත් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මාධ්‍ය වෙත පවසා තිබුනේ මේ මොහොතේ මුහුදු මාළු ආහාරයට ගැනීම කිසිදු ගැටළුවක් ඇති නොකරන බවයි.

“මාළු කන්න එපා කියන එක පදනම් විරහිතයි මොකද මේ ලොකු මාළු මේක වෙන කොටම ඔවුන් මෙතනින් අයින් වෙනවා. ඔවුන්ට මේකේ බලපෑම් එන්නේ නෑ.ඒ හින්දා මාළු කන්න එපා කියන එක ඇත්තටම පදනමක් නෑ.මාළු කෑවයි කියලා කිසිම ගැටළුවක් වෙන් නෑ මේ වෙලාවේ. ”

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මාධ්‍ය වෙත පවසා තිබුනේ ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මකව අධ්‍යනය කිරීමේ වගකීම නාරා ආයතනයට භාර දී තිබෙන අතර මාළු සම්බන්ධයෙන් කිසියම් බලපෑමක් ඇති වූවහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ගය ගන්නා බවයි.

“ගින්න ඇතිවුන වහාම අපි වෙනත් හේතු පදනම් කරගෙන ඒ කියන්නේ දුම් ආඝ්‍රාණය වීම සහ නැවේ අපද්‍රව්‍ය වලින් ධීවර යාත්‍රවට හානි වීම කියන කරුණු පදනම් කරගෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේම ධීවර කටයුතු නතරා කළා.ඒ නිසා දැන් මේ නැවේ අපද්‍රව්‍ය වලින් බලපෑමක් ඇති වන සම්පුර්ණ මුහුදු සීමාවේම කිසිදු ධීවර කටයුත්තක් සිදු වෙන් නෑ.ඒ නිසා මේ ප්‍රදේශයේ දැනට කිසිදු මාළු ඇල්ලීමක් සිද්ධ වෙන්නේ නෑ.ඒ නිසා මාළු වෙළද පොළට එන්නෙත් නෑ,” යි ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.

Facebook Comments

wedding people