වර්ගවාදී ඝාතනයකට එරෙහි විරෝධතා පුවරු කලා නිර්මාණ ලෙස රැකගත් අපූරුව

0

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වරදකරු, හිටපු පොලිස් නිලධාරී සුදු ජාතික ඩෙරෙක් චෝවින් යැයි මිනියාපොලිස් හි ජූරි සභාවක් විසින් තීන්දුව ලබා දුන් ඒ අප්‍රේල් උදෑසන ලීසා කෙලි බියකරු සිහිනයක් දැක අවදි වුවා ය. ගෙවී ගිය වසරේ බොහෝ අවස්ථාවලදී මෙන් කෝපයෙන් සහ බලාපොරොත්තු සුන් හැඟීමෙන් කෑ ගෑවා ය.

සුදු නොවන වෙනත් ජාතීන්ට අයත් කතුන් උදෙසා ස්වසාධන (self-help) බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙලී, ඉකුත් මැයි මාසයේ සිට නගරය තුළ පෙළපාලි යමින් අරමුදල් රැස්කිරීමට මහන්සි වූයේ, චෝවින් විසින් ෆ්ලොයිඩ්ගේ ගෙල මත දනින් නැගී සිටින මරණිය ක්‍රියාව දැක්වෙන වීඩියෝවෙන් පසු නැගී ආ, වාර්ගික යුක්තිය උදෙසා මිලියන ගණනක් ජනයා මහපාරට බසිමින්, මෑත ඉතිහාසය තුල දී සිදුකළ විශාලතම විරෝධතා ව්‍යාපාරය ලෙස සැලකිය හැකි විරෝධතාවලට සහාය දෙමිනි.

නමුත් “මගේ ඇතුලින් එන හැඟීම නවත්වන්න මේ කිසිදේකට පුළුවන් වුණේ නැහැ: ලොකු බලාපොරොත්තු කඩ වීමක්, තරහක් විතරයි තිබ්බේ,” ඇය කීවා ය. Memorialize the Movement යන අදහස ඇයගේ කැළඹුණු සිතට පැමිණුනේ එවිට යි. විරෝධතාකරුවන් හානි කරාවි යි බියෙන් ව්‍යාපාරිකයන් විසින් සිය කඩ සාප්පු ඉදිරිපිට අටවන ලදුව, පසුව කලා නිර්මාණ බවට පරිවර්තනය වූ තුනී ලෑලි පුවරු සංරක්ෂණය සහ ප්‍රදර්ශනය කරන ව්‍යාපෘතිය එම අදහස යි. විරෝධතා ව්‍යාපාරයෙන් ලද පෙළඹවීමෙන් තීන්ත, ස්ප්‍රේ, පෑන්, පැන්සල්, මාකර් පෑන් වගේම හුණුවලින් කරන ලද සිතුවම් මෙන්ම අනෙකුත් කලා නිර්මාණ ද ඒ අතර වේ. විශාල පරිමාණයේ කලා නිර්මාණ බොහොමයක් රැගත් ප්‍රදර්ශනය මැයි 21 වැනිදා සිට 23 වැනිදා දක්වා ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමුණු ස්ථානයට නුදුරේ පිහිටි ෆෙල්ප්ස් ෆීල්ඩ් උද්‍යානයේ දී පැවැත්වුණි. එය නම් කර තිබුණේ “ජෝර්ජ් උදෙසා යුක්තිය: මිනිසුන්ගේ පණිවිඩ” නමිනි.

එම පුවරු මඟින්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ජීවිතය සහ මරණය, ඒවා ඇයගේ ප්‍රජාව සහ රට කෙරෙහි නිරතුරුව දැඩි ලෙස බලපෑ ආකාරය ගැන කතාවක් කියන බව කෙලීට වැටහී ගියා ය.

“ඒකයි ඒවා සංරක්ෂණය කරන එක වැදගත් වෙන්නේ,” ව්‍යාපෘතියට පෙර කලා ලෝකය සමඟ එතරම් සම්බන්ධයක් නොතිබුණු කෙලී කිවා ය. “මොකද මේ කළු ජාතිකයන්ගේ ඉතිහාසය, කළු ජාතිකයන්ගේ ඉතිහාසය විතරක් නෙවෙයි, ඒක ඇමරිකානු ඉතිහාසය.”

ඒ හා සමාන පෙළඹවීමක් ලත් නිව්යෝක් සහ චිකාගෝ නුවර වෙනත් කණ්ඩායම් ද මේ ජන කැලඹිල්ලේ සංකේත එක්කාසු කරමින් ඒවා අතිශය සංවේගාත්මක වසරක සාක්ෂි උසුලාගෙන සිටින වස්තු බවට පරිවර්තනය කරමින් සිටිති – ඒ, ජාතියක් විදියට එකට හිඳිමින්, තමන්ගේ ප්‍රජාව විඳ දරාගත් දේ මතකයේ තබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට තමන්ගේම ක්‍රමයකට පිළිතුරු දීමේ බලාපොරොත්තුවෙනි.

මිනියාපොලිස්

කෙලී, Save the Boards Minneapolis කණ්ඩායම සහ ස්වේච්ඡා සේවකයන් විසින් වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම කලා නිර්මාණ එකතු කරමින් සිටියි. ඒවා තිබෙන තැන සොයා ගැනීම, ඒවායේ නිර්මාණකරුවන් සොයා ගැනීම අවුල්සහගත කාර්යකි. සමහරක් කලාකරුවන් බොහෝවිට ඔවුන්ගේ වෙබ් අඩවිය හෝ ඉන්ස්ටග්‍රෑම් නම ද එකතු කරමින් අත්සන දමන අතර අනෙක් කලාකරුවන් අත්සන යෙදීමට නොදන්නා හෝ නිර්නාමිකව සිටීමට කැමති අය වේ. එසේම, කඩ සාප්පු හිමියන් ඔවුන්ගේ පුවරු සම්බන්ධයෙන් කුමන සැලසුමක් තබාගෙන සිටියාද හෝ ඒවා එක්කාසු කිරීමේ දී කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වාවී දැයි මුලදී ඇය දැනගෙන සිටියේ නැත.

විදින කටුවක්, අත් ආවරණ සහ එකක් සාමාන්‍යයෙන් අඩි 8ක් පමණ උස රාත්තල් 60ක් පමණ බර පුවරු පැටවූ ජීප් රථයක් රැගෙන කෙලී සහ ඇගේ පෙම්වතා පමණකි මුල දී මේ කාර්යයට එක්වුණේ. වැඩිපුරම සමාජ මාධ්‍ය ඔස්සේ ස්වේච්ඡා සේවකයන් ද බඳවා ගත් පසු මේ වනවිට පුවරු 800කට වැඩි ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

රැස් කරගත් පුවරු උෂ්ණත්වය පාලනය කළ හැකි අවකාශයක රඳවා ඇති අතර තෙතමනය නිසා අවපැහැ ගැන්වීම අවම කිරීමට, කැඩෙන සුළු රාමු ආදියේ තත්වය පවත්වාගෙන යාම උදෙසා මිනියපොලිස්-ශාන්ත පෝල් නගරවල කලා සහ පුරා වස්තු සුරැකීම උදෙසා පිහිටුවා ඇති ආදායම් නොලබන සංවිධානයක් වන මිඩ්වෙස්ට් කලා සංරක්ෂණ මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සේවකයන්ගේ උපකාර හිමිවේ. “අපි ඒවා දැන් තියෙන තත්වයෙන්ම තියෙන්න අරිනවා,” කෙලී කියයි.

ශාන්ත තෝමස් විශ්ව විද්‍යාලයේ නගර කලා සිතියම් කණ්ඩායමේ උපකාර ඇතිව සියලුම පුවරු පරිගණක ගත කිරීමට ද හැකි වී තිබේ. මෙම වසර අවසානයේ දී පමණ අන්තර්ජාලය ඔස්සේ මෙම එකතුව නැරඹීමට හැකියාව ලැබෙනු ඇත.

මේ මස පැවැත්වූ ප්‍රදර්ශනයෙන් පසුව Memorialize the Movement සතුව ආදායම් නොලබන සංවිධානයක්, ජනතා ස්මාරකයක් පිහිටුවීම සහ කෞතුකාගාර සහ කලා කටයුතු සිදු කරන ආකාරය ගැන ප්‍රජාව දැනුවත් කිරීම වැනි දීර්ඝ කාලින සැලසුම් තිබුණි. නමුත් අප්‍රේල් මාසයේ දී මිනසෝටා හි බෘක්ලින් මධ්‍යස්ථානය තුල දී පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබා මරා දැමුණු කළු ජාතික දාන්තේ රයිට්ගේ මරණය නිසා එම සැලසුම් කල්ගොස් ඇත.

“මරා දැමුණු කළු මිනිසකුගේ ජීවිතය සහ මරණය අනුස්මරණය ගැන අපි බලාගෙන ඉන්නකොට දැන් අපිට හිතන්න වෙලා තියෙනවා මරා දැමුණු අනික් කළු ජාතිකයා මීට ඇතුලත් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ලබන අවුරුද්දට යෙදෙන ඔහුගේ අනුස්මරණයට මොකද කරන්නේ කියලාත් අපි හිතන්න ඕන,” කෙලී කියයි. “මේක ඕනවට වඩා වැඩියි .”

නිව්යෝක්

මහජන කලා නිර්මාණය උදෙසා සහයෝගය දෙන ලාභ නොලබන ආයතනයක් වන වර්ත්ලස් ස්ටුඩියෝවේ නිර්මාපකයා, සිය මනස නිරවුල් කරගැනීම සඳහා මෑන්හැටන් වටා රිය ධාවනය කරන නීල් හැමමොටෝට ඉකුත් ජූනි මාසයේ පැන නැගුනු පොලිස් මිලේච්ඡත්වය සහ වසංගතය යන තත්ව දෙකම මුළුමනින්ම පාහේ ඉස්පාසුවක් සැලසීය.

“නගරය හරිම නිශ්ශබ්දයි, හුස්ටන් පාරේ දකුණු පැත්ත සම්පුර්ණයෙන් වගේ බෝඩ්වලින් වහලා,” සිය කලා නිර්මාණ වෙනුවෙන් ප්ලයිවුඩ් පුවරු යොදා ගන්නා හැමමොටෝ කියයි. “තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ ජනෙල්, ඇතුලේ බඩු මුට්ටු ආරක්ෂා කරගන්න සියල්ලෝම වාගේ මුදල් කන්දරාවක් ගෙවනවා වුණත් මේ ස්ථාන ආපහු විවෘත කළාට පස්සේ මේ බෝඩ්වලට මොකද වෙන්නේ? ඒවා කොහෙටද ගෙනියන්නේ?” (විරෝධතා උත්සන්න මාසවලදී කලින් ඩොලර් 25ක් පමණ මුදලක් වූ එක පුවරුවක් ඩොලර් 90කට වැඩි මුදලකට අලෙවි විය.” මහපාරේ තියෙන සමහරක් පුවරු අහක දැමීමට සුදානම් කර තිබෙනු හැමමොටෝ දුටු අතර ඒවා ගෙන යාමට ඔහු තීරණය කළේ ය. ප්ලයිවුඩ් ආරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ වූයේ එලෙසිනි.

“වේදනාව, තරහ, උද්ඝෝෂණ, දේපල සහ මතක වටා බැඳුනු “හැඟීම්බර සහ දේශපාලනික වශයෙන් සංකීර්ණ ගැටළු” සිහි ගන්වන වසංගත කාලය අතරතුර දී නිව්යෝක් වැසියන්ට එළිමහනේ ගිමන් නිවිය හැකි ආරක්‍ෂිත ස්ථාන නිර්මාණය කිරීම එහි ඉලක්කය යි.” හැමමොටෝ පවසයි.

වර්ත්ලස් ස්ටුඩියෝව පුවරු 200කට වැඩි ප්‍රමාණයක් එක්කාසු කරගෙන, කලාකරුවන් වෙත විවෘත ආරාධනාවක් කළේ කිහිප දෙනකු පමණක් තෝරා ගන්නා අරමුණු ඇතිව ය. 150 දෙනකුට වැඩි පිරිසක් ඊට අයදුම් කර තිබුණි. ඉන් තෝරාගත් අයට කලාගාර අවකාශය, ආම්පන්න, කළමනා සහ ඩොලර් 2000ක වැටුපක්, ආම්පන්න සඳහා ඩොලර් 500ක දීමනාවක් ඇතුළුව සවි කිරීමට අවශ්‍ය උපදෙස් ද ලබාදුනි. කුඩාම ඉදි කිරීම සඳහා අවම වශයෙන් පුවරු 25ක් පමණ උවමනා වූ අතර එක් විශාල ඉදි කිරීමක් සඳහා පුවරු 60කට ආසන්නයෙන් යොදාගෙන තිබුණි. මෙම මාසයේ දී නිව්යෝක් හි ප්‍රදේශ 5ක එක් කලා නිර්මාණයක් බැගින් ඉදි කෙරුණි.

මෑන්හැටන් නුවර, බෙහින් හා සැලසුම් නිර්මාණ ස්ටුඩියෝව විසින් කළ “Be Heard” කලා කෘතිය තෝමස් පේන් උද්‍යානයේ තැම්පත් කරනු ඇත. KaN භූ දර්ශන සැලසුම් සහ කැරොලින් මාඩොක් විසින් කළ “In honor of Black Lives Matter” බ්‍රොන්ක්ස් හි පිහිටි පෝ උද්‍යානයේත්, මිෂෙල් සෙලෙහොස්කිගේ “Migeulito” බෘක්ලින් හි මැක්කැරන් උද්‍යානයේත්, ටෝනි ඩිබර්නාඩෝගේ “Open Stage” ස්ටේටන් අයිලන්ඩ් හි ඇලිස් ඕස්ටන් හවුස් හි ත් , ටන්ඩා ෆ්‍රැන්සිස්ගේ “RockIt Black” ක්වීන්ස් හි ක්වීන්ස්බ්‍රිජ් උද්‍යානයේත් තැම්පත් කරනු ඇත.

චිකාගෝ

චිකාගෝ නුවර ප්ලයිවුඩ් පුවරු ද ඉකුත් වසරේ සිට නොයෙකුත් අවශ්‍යතා වෙනුවෙන් විවිධ නිර්මාණ බවට පරිවර්තනය වෙමින් තිබුණු අතර මැතිවරණයට පෙර ඡන්ද ලියාපදිංචි කිරීමේ කුටි විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබුණේ නගරය වටා කඩ සාප්පු ඉදිරිපිට අටවා තිබූ නොයෙක් දේ ඇඳි පුවරු 150ක් පමණ එක්කාසු කරගනිමිනි.

“පෙරළියේ පුවරු” නමින් හැඳින්වූ මෙම කුටි ප්‍රාදේශීය කලාකරුවන්, චිකාගෝ නගරය සහ මිෂෙල් ඔබාමා, ටොම් හෑන්ක්ස්, ලින්-මැනුවෙල් මිරැන්ඩා මුලසුන දරන ආදායම් නොලබන සාමුහිකයක් වන When We All Vote එකමුතුවෙන් නිර්මාණය කළ ඒවා ය.

මැතිවරණයට පෙර සතිවල දී මෙම කුටි චිකාගෝ නුවර විවිධ ස්ථානවලට රැගෙන ගිය අතර අතීතයේ අඩු ඡන්ද භාවිතයක් පෙන්නුම් කළ, විශේෂයෙන්ම කළු හෝ දුඹුරු ප්‍රජාව පදිංචි වී සිටින ප්‍රදේශ සමීපයේ පුස්තකාල, කලාගාර වැනි ප්‍රජා හමු පැවැත්වෙන ස්ථානවල මේවා ප්‍රදර්ශනය කෙරුණි. ප්‍රාදේශීය නායකයෝ සහ කලාකරුවෝ ඒ ගැන ප්‍රචාරය ගෙන ගිය හ.

FCB චිකාගෝ නම් ප්‍රචාරණ ඒජන්සිය චිකාගෝ හි වෙසෙන ශිල්පියකු වන බොබී හියුස් සමඟ සහයෝගයෙන් මෙම කුටිවල සැලසුම් නිර්මාණය කර තිබුණි. ඒවා නිර්මාණය සඳහා බොබී හියුස්ගේ ද සහය ලැබුණි.

“ජෝර්ජ් ෆ්ලොයිඩ් උද්ඝෝෂණ අතරතුර දී අපිට ඇසුණු හඬ වීදියේ සිට මැතිවරණය දක්වා ගෙන ඒම,” පෙරළියේ පුවරුවල ඉලක්කය වූ බව යි ඒවා තැම්පත් කර ඇති අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසයේ කෞතුකාගාරයක් වන DuSable හි ප්‍රධාන විධායක නිලධාරී පෙරී ඉර්මර් පවසන්නේ. මෙම කුටි, 2020 උද්ඝෝෂණවල මතකයක් සහ අනාගත මැතිවරණ මෙවලමක් ලෙසින් කෞතුකාගාරය විවෘත කළ පසු ප්‍රදර්ශනයට තැබීමට සැලසුම් කරගෙන සිටියි: ඉදිරියේදී පැවැත්වීමට නියමිත වසර මැද මැතිවරණ සහ ජනාධිපතිවරණ වෙනුවෙන් ලියාපදිංචි වීම සඳහා නරඹන්නන්ට ඉඩ ලබාදෙමින් කුටිවල ගසා ඇති QR කේත එලෙසින්ම තබනු ඇත.

කුටි සෑදීම සඳහා බොහොමයක් පුවරු ලබා ගත්තේ අභිරක්ෂක මිසි පර්කින්ස් සහ කලාකරු බැරට් කේත්ලි විසින් පිහිටවූ Paint the City නම් ව්‍යාපෘතියෙනි. ජූනි මස ඇරඹි මෙය අසල්වැසි ප්‍රදේශවල කඩ සාප්පු ඉදිරිපිට අටවා තිබෙන පුවරු වර්ණ ගැන්වීමට කලාකරුවන් 60 දෙනකුට වැඩි පිරිසක් සඳහා මුල්‍යමය සහ ද්‍රව්‍යමය උපකාර ලබාදුන් ව්‍යාපෘතියකි. මෙම පුවරු සියයකට වැඩි ප්‍රමාණයක් මේ ග්‍රීස්ම සෘතුවේ දී DuSable කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් සකසා ගෙන තිබේ.

දශකයකට ආසන්න කාලයක් තිස්සේ දැන හඳුනන පර්කින්ස් සහ කීත්ලි, ජනයාට ආරක්‍ෂිත ගමන් මාර්ග සාදා දීමේ පියවරක් ලෙසින් නගරයේ පටු මාවත් පින්තාරු කරමින් සිටියි. ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාවලට කොවිඩ්-19 වසංගතයෙන් බාධා එල්ල වන විට ඔවුහු ඉතා ඉක්මනින් සිය අවධානය පුවරු කෙරෙහි යොමු කළහ.

“විරෝධතා ඇතිවෙද්දී අපි එළියේ හිටියේ,” පින්තාරු කරමින් සිටින විට දී ඒ අවට ඇතිවූ ගැටුම් ගැන මතක් කරමින් කීත්ලි කියයි. නමුත් විරෝධතාකරුවන් සහ පොලිසිය ඔවුන්ට බාධා කර තිබුනේ නැත. “මට අවසරයක් ලැබුණා මොකද මම ධනාත්මක වැඩ කොටසක් කලාව තුලින් කරගෙන ගියේ.” “ඒකෙන් මට අවසර පත්තරයක් ලැබුණා වගේ දෙයක් වුණේ.”

“ඒ කාලය සැලකිය යුතු ලෙස, සාමාන්‍ය සහ සරල එකක් වෙච්ච නිසා ඒ අවසරය වැදගත් වුණා. කලාකරුවෝ ඔවුන්ගේ කාලයට ආමන්ත්‍රණය කරනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ, ඉතින්, අපි ඒක තමයි කළේ,” කීත්ලි කිවේ ය. “මේ තමයි අපේ හඬ පිටකරන්න තෝරාගත් ප්‍රකාශන මාධ්‍ය, අපි ඒ අතින් හරිම සද්දයි.”

මායා සලාම්, නිව්යෝක් ටයිම්ස්

පරිවර්තනය : අභිෂේකා වාසල බණ්ඩාර

Facebook Comments

wedding people