සුබසාධනයට සීමා නොවී “මාධ්‍යවේදීන් වෘත්තීය සමිති හැදිය යුතුයි”

0

මාධ්‍යවේදීන්ගේ සංගම් සුබ සාධන වැඩවලට සීමා නොවී, අයිතීන් දිනා ගැනීමට වෘත්තීය සමිති ලෙස සංවිධානය විය යුතු බවට ලාංකික ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතකු අවධාරණය කර තිබේ.

දැනටමත් පිහිටුවා ඇති යාපනය හා මඩකලපුව මාධ්‍ය සමාජයන්ට අමතරව යුද්ධයෙන් වඩාත් පීඩාවට ලක්වූ, දුගී බැවින් පෙළෙන ජනතාවක් වෙසෙන මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීහු අලුතින් කාර්යාලයකට ගොඩ වැදුනෝය.

“මාධ්‍යවේදීන්ගේ සංගම් සුභ සාධන කටයුතු වලට සිමා විය යුතු නැහැ. වෘත්තීය සමිති ලෙස පරිවර්තනය වෙන්න ඕනෑ. තමන්ගේ හාම්පුතාව වුනත් ප්‍රශ්න කරන හැකියාව තියෙන්න ඕනෑ. එල්ලවෙන අභියෝග තර්ජන වලට මුහුණ දෙන්න නම් උතුරු නැගෙනහිර සියලුම මාධ්‍ය සංගම් එකතුවෙලා එක සම්මේලනයක් හැටියට වැඩ කරන්න ඕනෑ,” යි යාපන සරසවියේ ජනමාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්. රගුරාම් මුලතිව් මාධ්‍ය සමාජය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කළේය.

මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ හා ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති ෂන්මුගම් තවසීලන්ගේ මෙහෙයැවීමෙන් පැවැත්වූ මෙම උත්සවයේදී ආචාර්ය රගුරාම් අවධාරණය කළේ ලංකාවේ ආණ්ඩුව තවමත් වෘත්තීමය තත්වයකින් මාධ්‍යවේදය පිළිගෙන නැති මුත්, මාධ්‍ය භාවිතය හුදු රැකියාවකට වඩා සමාජ සේවයක් බවයි.

යාපනය සරසවියේ ජනමාධ්‍ය අංශයේ සහයෝගය මුලතිව් මාධ්‍ය සමාජයට ලබා දෙන බව පැවසු රගුරාම් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන අය වෙනුවෙන් උපාධි මට්ටමේ “උසස් ජනමාධ්‍ය ඩිප්ලෝමාවක්” අරඹන බවද කියා සිටියේය.

හමුදාකරණය සහ දුගී බව

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති පරිදි විශාල ලෙස මිලටරිකරණයට ලක්ව ඇති මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති හමුදා කඳවුරු ගණන සියයකට වැඩිය.

ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව වඩාත් දුගී බවින් පෙලෙන ජනතාවක් වෙසන දෙවැනි දිස්ත්‍රික්කය ලෙස සැලකෙන්නේ මුලතිව්ය. පළමු වැන්න කිළිනොච්චි ය.

මුලතිව් දිස්ත්‍රික්කයේ වෙසෙන පවුල් 44,634 ක් අතුරින් මාසික ආදායම රුපියල් 10,000 ට අඩු පවුල් ගණන 34,114 ක් බව ද රවිකරන් පැවසු බව JDS වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

“යාපනේ නිමලරාජන්, මඩකලපුවේ නඩේසන්, ත්‍රිකුණාමලේ සුගිර්දරාජන්, වව්නියාවේ කබිලන්, ඇතුළු උතුරු නැගෙනහිර පළාතේ මරා දමපු, අතුරුදහන් කළ මාධ්‍යවේදීන් ගන්න 39 ක්, ඒ 2001 ඉඳලා 2009 වෙනකම්,තවත් සිය ගණනක් රට අත්හැර ගොස් තියෙනවා, තවත් අය මාධ්‍ය අත්හැර වෙනත් රස්සා කරනවා, යාපනේ මාධ්‍යවේදීන් වගේම මුලතිව් මාධ්‍යවේදීන්ද බොහොම තර්ජන ගර්ජන මැද්දේ වට්ටුවාකල් අවසන් ඉම දක්වාම තමන්ගේ මාධ්‍ය යුතුකම ඉටු කරපු ඉතිහාසයක් අපට තියෙන්නේ,” යැයි යාපනය මාධ්‍ය සමාජයේ ලේකම් රත්නම් දයාබරන් සඳහන් කළේ එම ගෞරවය රැක ගත යුතු යැයි ඉල්ලා සිටිමිනි.

උතුරු නැගෙනහිර දෙමළ නිජබිමේ මාධ්‍යකරණයේ යෙදීම මුවහත් කඩුවක් මත ඇවිදිනවා වැනි යැයි පැවසු මාධ්‍යවේදී රත්නම් දයාබරන් අවධාරණය කළේ ඇතැම් “මාධ්‍යවේදීන් කැමරාවකට හෝ ජංගම දුරකථනයකට ඕනෑම වැඩක් කරන ප්‍රවණතාවක්” ඇති මුත් නිමලරාජන් ඇතුළු මාධ්‍යවේදීන් 39 දෙනකු ජිවිත පුජා කර ඇත්තේ තම පෞද්ගලික සුභ සාධනය උදෙසා නොවන බවය.

“යාපනේදී අතුරුදහන් කළ මාධ්‍යවේදී රාමචන්ද්‍රන්ගේ වයසක දෙමාපියන්ට යාපනේ මාධ්‍ය සමාජය හැටියට මාසිකව ආධාරයක් ලබා දුන්නා, ඒ දෙන්නා මිය ගියාට පස්සේ රාමචන්ද්‍රන්ගේ සහෝදරියක් අපිට කතා කරලා කිව්වා මල්ලී ආපහු එයි කියලා හිතාගෙන හිටපු අම්මා අප්පා ඒ සල්ලි බැංකු පොතක දාලා, වියදම් කරලා නැහැ කියලා, එහෙම එකතුවුණු ලක්‍ෂ 38 ක මුදලක් අපි රාමචන්ද්‍රන්ගේ සහෝදරියන් හා දරුවන් අතරේ බෙදලා දුන්නා, මේ වගේ මුලතිව් මාධ්‍ය සමාජයටත් මරා දාපු, අතුරුදහන් කළ මාධ්‍යවේදීන්ගේ පවුල් ගැන බලන්න පුළුවන්” යැයි ඔහු පවසයි.

රාජ්‍ය හමුදා හෝ ඔවුන්ගේ අනුබලය ලැබූ අතුරු හමුදා කල්ලි විසින් 2001 සිට 2009 කාල වකවානුවේදීත් ඉන් පසුවත් මරා දැමුණු හෝ අතුරුදහන් කළ මාධ්‍යවේදීන් හතලිහකට වැඩි සංඛ්‍යාව ගැන මෙතෙක් කිසිදු විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් ලබා දී නොමැත.

Facebook Comments

wedding people