ගජේන්ද්‍ර, සිවාජි, ඊශ්වරී ඇතුළු 35 කට තහනම් නියෝග 50ක්

0

යුද්ධයෙන් මියගිය තම සමීපතමයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීමට ආණ්ඩුව උතුරේ දියත් කර ඇති මෙහෙයුම තවත් උත්සන්න කර තිබේ.

මහවිරු සැමරුම් පැවැත්වීම හා සංවිධානය කිරීමට එරෙහිව මේ වනවිට මුලතිව් දිස්ත්‍රිකයේ දේශපාලනඥයන් සහ බහුජන සංවිධාන ක්‍රියාධරයන් 35 දෙනකුට එරෙහිව තහනම් නියෝග ලබා ගෙන ඇති පොලිසිය ඊයේ දිනයේ ආගමික වතාවතක් වශයෙන් පහන් දල්වා තිබූ නිවෙස්වලටද ගොඩ වැදී තිබේ.

සාම්ප්‍රදායික වශයෙන් හින්දුන් විසින් සෑම ඉල් පුන් පෝ දිනකම සිදු කරන පරිදි පහන් දල්වා කාර්තික දීපෝත්සව පැවැත්වීමේදී පොලිසිය හා හමුදාව පැමිණ මහවිරු සමරු ගැන ප්‍රශ්න කිරීම මහත් හිරිහැරයක් බව නිවැසියෝ පවසති.

ගෞතම බුදුන්ගේ අගසව් දෙනමගෙන් එක් නමක් සේ ගැනෙන සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද, අනාගතයෙහි මතු බුදුවන බවට විශ්වාස කෙරෙන මෛත්‍රෙය ‌බෝධිසත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලද්දේ ද, මේ කාර්තික දින හෙවත් ඉල් පොහොය දිනයේ දී බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

2009 වසරින් පසු 2018 සහ 2019 වසර වලදී හැර අනෙකුත් සෑම වසරකදීම මහවිරු සමරු පැවැත්වීමට එරෙහිව පොලිසිය විසින් අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගෙන තිබුණි.

මුලතිව්, පුදිකුඩිඉරිප්පු, මුල්ලියාවලි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මල්ලාවි, අයියන්ගන්කුලම් පොලිසි විසින් කර ඇති ඉල්ලීමට අනුමැතිය දෙමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා විසින් නොවැම්බර් 17 දා වාරණ නියෝග පනහකට ආසන්න ගනනක් පනවා ඇති බව පළාත්බද වාර්තාකරුවෝ පවසති.

මෙහිදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්,සිවප්‍රකාශාම් සිවමෝහන්, මරියසුරේෂ් ඊශ්වරී, සෙල්වරාජා ගජේන්ද්‍රන්,තම්බයියා යෝගේෂ්වරන් ඇතුළු කිහිප දෙනෙකුටම පොලිසි කිහිපයකින්ම තහනම් නියෝග ලබා ගෙන තිබේ.

ඊට අමතරව, මහවිරු සමරුව එම පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වීම ද අධිකරණය මගින් තහනම් කෙරෙන නියෝගයක් ද නිකුත් කළේය.

එම ඉල්ලීම රැගත් ලිපියේ විස්තර කෙරෙන ආකාරයට ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති පරිදි සමරුවේ ක්‍රියාකාරකම් අවිහිංසාවාදීය.

පුදුකුඩියිරුප්පු පොලිසියේ ස්ථානාධිපති විසින් මුලතිව් මහේස්ත්‍රාත් වරයාට ලියා ඇති ලිපියේ දැක්වෙන පරිදි නොවැම්බර් 21 සිට 27 දක්වා මහවිරු සතිය ලෙස නම් කර සෑම අවුරුද්දකම සැමරුම් පවත්වන ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ මනලාරු රක්ෂිතය තුල පවත්වන ලද පළමු මහවිරු සැමරුමේදී ප්‍රකාශයට පත් කර ඇත්තේ එල්ටීටීඊ නායකයා විසිනි.

“එම නියෝගය පරිදි මෙවරද එම තහනම් සංවිධානයේ සාමාජිකයන් හා එයට සහාය දක්වන කණ්ඩායම් වල සාමාජිකයන් මගින් එම සංවිධානයේ නිර්මාතෘ වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ මියගිය සාමාජිකයන් සිහි කර එම සංවිධානයට අයත් කොඩි එසවීමට, මියගිය අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම සංවිධානයේ ගීත ගායනා කිරීම හා එම සංවිධානයට අයත් වර්ණ සහිත කොඩි එසවීම හා තහනම් කරන ලද සංවිධානයේ ජාතික පුෂ්පය වන නියඟලා මල ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවටත් ඉහත තොරතුරු මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත,” යි ප්‍රධාන පොලිස් පරීක්ෂක අමරසිංහගේ අත්සනින් යුත් ලිපියේ දැක්වේ.

ආණ්ඩුව හා රජයේ ආරක්ෂක අංශ විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි එල්ටීටීඊය දැනට ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ඇති සංවිධානයකි.

එසේ වෙතත්, පොලිසිය විසින් එකම දේශපාලකයන් හා සමාජ ක්‍රියාධාරී පිරිසට එරෙහිව තහනම් නියෝග කිහිපයක්ම ලබාගෙන තිබේ.

පුදුකුඩිඉරිප්පු පොලිසියේ ඉල්ලීමට අනුව මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සිවප්‍රකාෂම් සිවමෝහන්,උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආන්ඩිඅයියා පුගනේශ්වරම්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන්වන කනපතිපිල්ලේ විජේකුමාර්, කනකසුන්දර ස්වාමි,ජනමේ ජෙයන්දන්, සමාජ ක්‍රියාධරයන් වන තම්බයියා යෝගේෂ්වරම්,ඉසිඩෝර් ඇන්ටන් ජිවරාසා,පෙදුරුපිල්ලේ ජෙරාඩ් තවරාසා,ගනේශ්වරන් තවරාසා,සභාරත්නම් යෝගනාදන්,ජෙසුදාසන් පැට්‍රික් ජූඩ්, වේලුපිල්ලේ ත්‍යාගරාජා හා මුලතිව් දිසා අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නායිකා මරියසුරේෂ් ඊශ්වරී ඇතුළු 14 දෙනෙකුට සහ ඔවුන්ගේ පිරිසට එරෙහිව තහනම් නියෝග නිකුත් කළේය.

මුලතිව් පොලිස් වසම තුල මහවිරු සැමරුම් තහනම් කරමින් දේශපාලඥයන් 12 දෙනකුට හා ඔවුන්ගේ කණ්ඩායමට එරෙහිව නියෝග නිකුත් කෙරිණි. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෛරාසා රවිහරන්, තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභික සහ තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික ඇන්ටනී ජෙයනාදන් පීටර් ඉලන්චේලියන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවප්‍රකාෂ් සිවමෝහන්, එම්.කේ සිවාජිලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජේන්ද්‍රන්, සමාජ ක්‍රියාධරයන් වන තම්බයියා යෝගේෂ්වරම්, මුත්තුරාසා සිවනේසරාසා, ඉසිඩෝර් ඇන්ටන් ජිවරාසා, පේදුරුපිල්ලේ ජෙරාඩ්, කනකසභාපති විශ්වලිංගම් විග්නේශ්වරන් මහවිරු සැමරුම් තහනම් නියෝග පැනවුණු දොළොස් දෙනා වේ.

මහවිරු සැමරුම් තහනම් කරමින් මල්ලාවි පොලිසිය විසින් නේසන් කුලාස් පියතුමා, තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සත්කුනනාදන් සුජන්සන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, සමාජ ක්‍රියාධරයන් වන තිල්ලයනාදන් කින්දුජන්, තන්ගරාසා නිරන්ජන්, පද්මනාදන් ශ්‍රිහරන් සහ මහාදේවන් ආනන්ද් යන හත් දෙනාට හා ඔවුන්ගේ පිරිසට එරෙහිව උසාවි නියෝග ලබා ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්,සෙල්වරාසා ගජේන්ද්‍රන්, තුනුක්කායි පාදේශිය සභාවේ මන්ත්‍රී සත්කුනනාදන් සුජන්සන්, සමාජ ක්‍රියාධරයන්වූ තිල්ලයනාදන් කින්දුජන්, සන්ගරපිල්ලෙයි තාහරතිරන්, කාසිපිල්ලෙයි කරුණාකරන්, කන්දසාමි චන්ද්‍රසේකරන්, තන්ගරාසා නිරන්ජන් ඇතුළු අට දෙනකුට හා ඔවුන්ගේ කණ්ඩායමට එරෙහිව මහවිරු සැමරුම් තහනම් නියෝග ලබා ගෙන ඇත්තේ අයියන්කුලම් පොලිසිය කළ ඉල්ලීමකට අනුවය.

මාන්කුලම් පොලිසියේ ඉල්ලීමකට අනුව මහවිරුවන් සැමරීම හා සැමරුම් සංවිධානය කිරීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාසා ගජේන්ද්‍රන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, සමාජ ක්‍රියාධරයන් වන තිල්ලෛනාදන් කින්දුජන්, රඝුනාදන් තුශියන්දන්, කුන්ජිපාදම් රවින්ද්‍රන්, මහදේවන් ආනන්ද්, සුබ්‍රමනියම් පරමානන්දන් ඇතුළු නව දෙනාටත් ඔවුන්ගේ කණ්ඩායමත් එරෙහිවය.

කාරතුරෙයි පත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති කමලනාදන් විජින්දන්, එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති තිරුචෙල්වම් රවින්දරන්, එහි හිටපු සභාපති කනගයියා තවරාසා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සන්නරාසා ලොගේශ්වරම්,ඉරත්තිරම් ජෙගදිශ්වරම්,තවරාසා අමලන්,සමාජ ක්‍රියාධරයන් වන ස්මිත් කට්සන් චන්ද්‍රලීලා, කාලිමුත්තු ෂන්මුගලිංගම්,ඉරාසසේහරම් ඉරාසම්මා, බහිදරන් ජෙගදිසන්,ඥාණදාස් ජූඩ් ප්‍රකාශ් ඇතුළු එකොලොස් දෙනාට එරෙහිව මහවිරු සැමරුම් හා සංවිධානය තහනම් කරමින් උසාවි නියෝග ලබා ගෙන ඇත්තේ මුල්ලියාවලි පොලිසිය මගිනි.

උසාවි තහනම් නියෝග ඉදිරියට ගෙනයමින් ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් ප්‍රදේශයේ පුදගලයන් තිදෙනෙකුට එරෙහිව මහවිරු සැමරුම් තහනම පනවා තිබේ. පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රාමලිංගම් සත්‍යශිලන් හා ධර්මලිංගම් ජිවරත්නම්, තම්බයියා යෝගේෂ්වරම් යන සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව මෙම තහනම ක්‍රියාත්මකවේ.

මේ අතර පොලිසියේ ඉල්ලීමට අනුව වව්නියාවේ අධිකරණය මගින්ද මහවිරු සැමරුම් වාරණය කිරීමේ නියෝග නිකුත් කර තිබේ. නොවැම්බර් 20 වැනිදා සිට 29 වැනිදා දක්වා මහවිරු සැමරුම් හෝ ඒ ආකාරයේ වෙනත් උත්සව පැවැත්වීම තහනම් කරමින්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, සිවප්‍රකාෂම් සිවමොහන්, උතුරු පළාත් සභාවේ හිටපු ඇමැති පී.සත්‍යලිංගම්,අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියා දිසා නායිකා කේ.ජෙයවනිතා, එහි ලේකම් කේ.රාජ්කුමාර් සමාජ ක්‍රියාධරයන්වූ ගයේන්ද්‍ර කුමාර්, එස්.තවබාලසිංහම්, එස්.අරවින්දන් ඇතුළු අට දෙනාට නියෝග කර ඇත්තේ දෙසැම්බර් 6 වැනිදා වව්නියා අධිකරණයට වාර්තා කරන ලෙසය.

ප්‍රාදේශීය මාධ්‍යකරුවන් පවසන්නේ යාපනය,මන්නාරම,ත්‍රිකුණාමලය,අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික් වලද මහවිරු සැමරුම් තහනම් නියෝග ලබා ගැනීම සඳහා පොලිසිය විසින් වෑයම් කරන බවය.

Facebook Comments

wedding people