අතුරුදහන් වුවන් දාහතර දෙනෙක් අවුරුදු හතකට පස්සේ සොයාගනී

0
65

හත් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, දස දහස් සංඛ්‍යාත පැමිණිලි ගණනක් විභාග කිරීමෙන් පසු දාහතර දෙනකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන තිබේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික තම්බයියා යෝගරාජා පවසන්නේ එහෙත් ඔවුන් සම්බන්ධයෙන් මේ මොහොතේ තොරතුරු හෙළි කිරීමේ හැකියාවක් නොමැති බවයි.

“පුද්ගලයන් 17 දෙනකුගේ ඉරණම අපේ කාර්යාලය විසින් තහවුරු කරගෙන තිබෙනවා. මේ අතරින් තුනක් මියගිහින්. ඉතිරි 14 දෙනා සම්බන්ධ තොරතුරු අප විසින් එක්රැස් කරගෙන තිබෙනවා. මේ 14 දෙනා ජීවතුන් අතර ඉන්නා බව සොයාගෙන තිබෙනවා. එහෙත්, මේ වෙලාවේ එම තොරතුරු හෙළි කරන්න පුළුවන් තත්වයක් නැහැ. අදාළ පුද්ගලයන්ගේ කැමැත්ත ලබාගෙන, අවශ්‍ය පියවර ගත්තට පස්සේ අපි අදාළ තොරතුරු නිකුත් කරන්නම්.”

OMP නියෝජිත තම්බයියා යෝගරාජා පසුගියදා කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දී තිබුනේ සිය කාර්යාලයට මේ වන විට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය විසි එක් දහස ඉක්මවා ඇති බවයි.

“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට මේ වනවිට අයදුම්පත් 21,630ක් ලැබිලා තියෙනවා. මේ අතරින් අයදුම්පත් හා ලිපිගොනු14,988ක් ගැන පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා. ඒ පොලිසිය හා සන්නද්ධ අංශවලින් ලැබුණු පැමිණිලි සහ අනු පිටපත්වලට අමතරවයි. සිද්ධි 6,788ක මූලික පරීක්ෂණ සිදුකර හමාරයි. එක පැමිණිලිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් පුද්ගලයන් 3,800 කට වැඩි පිරිසකට අතුරු සහන ලබාදී තිබෙනවා. ”

අතුරුදහන් වුවන් සදහා දක්නට නොමැති බවට වන සහතික 3000 ට අධික ප්‍රමාණයක් නිකුත් කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු එහිදී හෙලි කර තිබුනි.

“මේ වනවිට සම්පූර්ණ කර ඇති මූලික පරීක්ෂණ මත පදනම් වී, අයදුම් පත් 3,600කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් දක්නට නොමැති සහතික නිකුත් කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත යවා තිබෙනවා. ඊට අමතරව වැඩිදුර පරීක්ෂණ සඳහා අයදුම් පත් 830ක් යොමුකර තිබෙනවා.”

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අසමත් වීම සම්බන්ධයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් එම සංගමයේ ක්‍රියා කලාපය දිගින් දිගටම දැඩි ලෙස විවේචනය කරමින් සිටී.

Facebook Comments

Ivory Agency Ad