ගුවන් විදුලි සංස්ථා දේපලත් ව්‍යාපාර සඳහා විකුණයි

0

දිනෙන් දින අසන්නන්ගෙන් ඈත් වෙමින් තිබෙන ආණ්ඩුවේ ගුවන් විදුලිය සිය සම්පත් වෙනත් ආයෝජන සඳහා යොදා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව කලක් ජර්මානු හඬ ගුවන් විදුලි මධස්ථානය පවත්වා ගෙන ගිය ත්‍රිකුණාමලය කුච්චවේලි ගුවන් විදුලි සංස්ථාවට අයත් ඉඩමේ සුර්ය බලශක්ති ජනනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිතය.

“ත්‍රිකුණාමලය කුච්චිවේලි හෙක්ටයාර් දෙසිය පනහකට වැඩි ඉඩමේ සුර්ය බලශක්තිය නිපදවිමට යොදා ගන්න අපි තීරණය කරා. මේ ඉඩම 1980 දී ගිවිසුමක් මගින් “ඩොයිෂ වෙල“ නොහොත් ජර්මානු හඬ ගුවන් විදුලිය පවත්වා ගෙන යන්න ජර්මානු ජනරජයට ලබා දී තිබුණා. 2012 ගිවිසුම අවසන් වෙලා ගුවන් විදුලියට යළි පවරා දුන්නත් ඉඩම හිස්ව තිබුනේ,“යැයි කැබිනට් තීරණ දැනුම් දෙමින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අහලප්පෙරුම පවසයි.

කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ජනවාරි 19 පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක් වූ ඇමතිවරයා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර සිටින පුනර්ජීවන බලශක්ති ජනනය කිරීමේ ව්‍යාපෘතියට රාජ්‍ය ආයතනයක් ලෙස ගුවන් විදුලි සංස්ථාව ද එක්වන බවයි.

“තෝරා ගත් පෞද්ගලික අංශයේ ආයෝජකයන් හරහා කුච්චවේලි සුර්ය බලශක්ති ව්‍යාපෘතිය අරඹනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තියෙනවා,“යැයි ද ඇමැති අලහප්පෙරුම සඳහන් කරයි.

මේ මගින් මෙගා වොට් 80 සිට 100 දක්වා ධාරිතාවකින් යුත් සුර්ය බලශක්තියක් ජනනය කළ හැකි බව ද ඔහු පවසයි.

දේශපාලනකරණය වීමත්, පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් ඇරඹීමත්, කළමනාකරණ දුර්වලතා ද සමග ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව දිනෙන් දින පාඩු ලබන රජයේ ආයතන ලැයිස්තුවට ඇතුලත්ව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආසියාවේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන බ්‍රිතාන්‍යයන් විසින් “රේඩියෝ සිලෝන්“ නමින් ආරම්භ කරන ලද්දකි.

ටෙන්සින් නෝර්ගේ සමග 1953 දී එවරස්ට් කන්ද තරණය කළ පළමුවැන්නා ලෙස ඉහිහාස ගතවී ඇති එඩ්මන්ඩ් හිලරිට කඳු මුදුනේදී ශ්‍රවනය කරන්නට හැකිවූ එකම ගුවන් විදුලිය ලෙස වාර්තා වී ඇත්තේ රේඩියෝ සිලෝන් විකාශයයි.

Facebook Comments

wedding people