රටේ මුල් පෙළේ රහස් පරීක්ෂකයකු සිය පවුල සමගින් විදේශ ගතවීමත් සමග පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් හත් සියයකට වැඩි පිරිසකට නිසි අවසරයකින් තොරව විදෙස් ගත වීමට වාරණයක් පනවා තිබේ.
රාජපක්ෂ පාලනයේදී මාධ්‍යවේදීන්ට සිදුවු අපරාධ සම්බන්ධව යුද හමුදා නිලධාරීන්ටත්, පුද්ගලයන් අතුරුදහන් කරවීම පිළිබඳව නාවික හමුදාවේ ඉහල නිලධාරීන්ටත් චෝදනා එල්ල වන පරීක්ෂණ මෙහෙයවු පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අවසරයකින් තොරව විදෙස් ගත් වීමෙන් පසු මෙම තහනම පනවා ඇත.
විදේශ ගතවීම තහනම් කරන ලද රහස් පොලිස් නිලධාරින් 704 දෙනෙකුගේ නාම ලේඛනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත යවා යොමු කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත 25 සඳුදා අලුයම ලබුණ නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක සුජීව රත්නායක පවසන්නේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී කළ පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා රටින් පිටවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස් මුලස්ථානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක, විශේෂ විමර්ශන කිහිපයක් බාරව සිටි ස්ථානාධිපතිවරයෙක් මෙලෙස කිසිදු අවසරයකින් තොරව මෙලෙස විදෙස් ගත වීම බරපතළ ගැටළුවක් බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් මුලස්ථානය කටයුතු යොදා ඇත.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් අවසරයකින් තොරව විදෙස් ගතවීම විනය විරෝධී ක්‍රියාවක් බැවින් ඔහු එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය වැඩි දුරටත් පවසයි.