ජාත්‍යන්තර නීතිඥ සංගමය සිරගත මුස්ලිම් නීතිඥයා වෙනුවෙන් පෙරට එයි

0

මුස්ලිම් විරෝධී කෙනෙහිලිකම් උත්සන්න වෙමින් පවතින කෝවිඩ් 19 වසංගත සමයේ සම්මත නීතියට පිටුපා මුස්ලිම් ජාතික ජනාධිපති නීතිඥයකු අත් අඩංගුවේ රඳවා තබා ගෙන සිටින ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන ජාත්‍යන්තර වශයෙන් මතුවන බලපෑම දැඩි වෙමින් පවතී.

මාසයකට ඉහතදී රහස් පොලිසිය විසින් ජනාධිපති නීතිඥ හිස්බුල්ලා අත් අඩංගුවට ගැනීමත්, රඳවා තබා ගැනීමත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබෙන නිසි ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව ජාත්‍යන්තර නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාට ලියා ඇති ලිපියෙන් අවධාරණය කෙරේ.

“නීතිඥ හෙජාස් හිස්බුල්ලා රඳවා තබා ගැනීමේදී නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඔහුට නිරන්තරයෙන් සිය නීතිවේදීන් හමුවීමට ඉඩ සලසන ලෙසත්, නීතිඥ වරයකු ලෙස ඔහුට හිමි වෘත්තීය වරප්‍රසාද ගරු කරන ලෙසත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය (IBAHRI) ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි,” යනුවෙන් IBAHRI සම සහාපති හිටපු විනිසුරු මයිකල් කර්බි සහ ඈන් රැම්බර්ග් අත්සන් කළ ලිපියේ සඳහන් වේ.

“හිස්බුල්ලා මහතාට ඔහු අත් අඩංගුවට ගන්නා ලද හේතුව දැනුම් දී නොමැත. ඔහු රඳවා තබා ගැනීමේ නියෝගයක් 2020 අප්‍රේල් 25 දක්වා නිකුත් කර නොමැති අතර ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ 7 සහ 9 වගන්ති ප්‍රකාර නියමකොට ඇති පැය 72ක් තුලදී මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා නොමැත. මීට අමතරව 2020 අප්‍රේල් 15,16 සහ 18 පැවති කෙටි මුණගැසීම් වලදී නීතිඥ සහාය ලබාගැනීම වලකා තිබේ. මේ රැස්වීම් පවත්වන ලද්දේ නීතිඥයකුට වෘත්තියෙන් හිමිවන වරප්‍රසාද උල්ලංඝනය කරමිනි.”

හෙජාස් හිස්බුල්ලා වර්තමාන පාලකයන්ගේ මෙන්ම ඔවුන් බලයට පත් කිරීම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කළ සිංහල බෞද්ධ දැඩි මතධාරීන්ගේත් කෝපයට හේතුවූ ඉහල අවධානය දිනාගත් නඩු විභාග කිහිපයකටම පෙනී සිටි නීතිඥයෙකි.

නීති විරෝධී ලෙස 2018 දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අභියෝගයට ලක් කිරීම සහ සිංහල කාන්තාවන් බලහත්කාරයෙන් වඳ කළ බවට චෝදනා නැගුනු කුරුණෑගල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් පෙනී සිටීම ඇතුළු ඉහල අවධානය දිනාගත් නඩුකර කිහිපයකටම නීතිඥ හිස්බුල්ලා සම්බන්ධ වී සිටියේය.

ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ කෝවිඩ් 19 වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාවට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි වෙනස්කම් පෑම් උත්සන්න වෙමින් පවතිද්දී බව IBA ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට පෙන්වා දී තිබේ.

“ආණ්ඩුව වගවීමෙන් බැඳ තැබීමේ තීරණාත්මක භූමිකාව පවත්වාගෙන යාම සඳහා නීතිඥවරුන්ගේ ස්වාධීනත්වයටත්, ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට ඔවුන් සතු අයිතියටත් ගරු කරන ලෙස IBAHRI ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් උදක්ම ඉල්ලා සිටී.”

ජාත්‍යන්තර නීතිඥ සංගමය (IBA) ලොවපුරා නීති වේදීන්ගෙන්, නීතිඥ සංගම් සහ නීති සංගම් වලින් සැදුම්ලත් ජගත් නීතිවේදීන්ගේ ප්‍රමුඛතම සංවිධානය ලෙස සැලකේ.

නීතිඥ හිස්බුල්ලා සිරගත කර ඇත්තේ මානව විරෝධී නීතියක් ලෙස ගර්හාවට ලක්වී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ දැඩි ප්‍රතිපාදන පවා උල්ලංඝනය කරමින් බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ -International Commission of Jurists) විසින් මීට ඉහත නිකුත් කර ඇති නිවේදනයකින් පෙන්වා දී තිබුණි.

Facebook Comments

wedding people