මුස්ලිම් මළ සිරුරු පුළුස්සන ආණ්ඩුවට එරෙහි විරෝධය දිගටම (VIDEO)

0
683

කොරෝනා නොවන ආබාධ වලින් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ගෙන් අනුමැතියකින් තොරව ඉස්ලාමීය ආගමික චාරිත්‍ර වලට පිටුපා පුළුස්සා දැමීම ගැන රජය දැඩි විවේචනයට ලක්වී සිටී.

මුස්ලිම් දේශපාලනඥයන් කිහිපදෙනකු විසින් ම පෙන්වා දී ඇති පරිදි කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙස සැක පල කරමින් දෙදෙනකුගේ සිරුරු ආදාහනය කිරීමෙන් එම පවුල් වලට සිදුව ඇත්තේ දැඩි අසාධාරණයකි. රිෂාඩ් බදියුද්දීන් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම රජයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවීම සඳහා මේ වනවිට උසාවියේ සරණ පතා තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය අලි සහීර් මවුලානා සිය ට්විටර් ගිනුමේ පළ කර ඇති සාක්ෂි වලින් අනාවරණය වන්නේ කොළඹ, මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 වියැති මුස්ලිම් පුද්ගලයකුගේ දේහයක් ආදාහනය කර ඇත්තේ කෝවිඩ් 19 ආසාදිත බවට ඇතිකරගත් සැකයට විනා කිසිදු රසායනාගාර පරීක්ෂණයකින් එය තහවුරු කර ගැනීමෙන් තොරවය.

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කළ මරණ සහතිකයේ කෝව්ඩ් 19 PRC පරීක්ෂණ සදහා සාම්පල් ලබාගත් බව සඳහන් වේ.

අධිකරණ වෛද්‍ය නිලධාරී මලින්ත ද සිල්වා, හදිසි මරණ පරීක්ෂක වෙත නිර්දේශ කර ඇත්තේ “ජාතික මාර්ගෝපදේශන ප්‍රකාරව” මෙය සැක කටයුතු මරණයක් සේ සලකා කටයුතු කරන ලෙසයි.

එම මරණයට හේතුව කුමක්දැයි කොළඹ නගරයේ මරණ පරීක්ෂක එම්.අෂ්රො‌ෆ් රූමී අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයෙන් කරන ලද විමසීමේදී වෛද්‍ය මලින්ත ද සිල්වා දැනුම් දී ඇත්තේ “සායනික ඉතිහාසය සහ පවත්නා ආවේනික තත්වය කරන කොට ගෙන මරණයට හේතුව කෝවිඩ් 19 විය හැකි බවට විශාල සැකයක් පවතින” බවයි.

2020 මැයි 5 වන දින රෝහලේදී ඔහු මිය ගොස් ඇති අතර කොවිඩ් 19 ආසාදිත බවට වු සැකය හේතුවෙන් මැයි 6 වැනි දින ඔහුගේ සිරුර ආදාහනය කර තිබෙන බව අලි සහීර් මවුලානා සිය ට්විටර් ගිනුමේ සටහන් කර තිබේ.

ආණ්ඩුව හා මාධ්‍ය

මරණකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කිසිදු රසායනාගාර පරීක්ෂණයකින් තහවුරු වී නොමැති අවස්ථාවක ඔහු කොරෝනා වෛරස් ආසාදිතයකු ලෙස සලකා අවසන් කටයුතු කර තිබියදීත් එම මරණය සම්බන්ධයෙන් වාර්තා කිරීමට රජය හෝ ජනමාධ්‍ය කටයුතු කර නොතිබීම හිටපු අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ “පුදුම සහගත තත්වයක්” ලෙසයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සදහන් කළේ කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙස සදහන් කරමින් ඉදිරිපත් කර තිබෙන වාර්තා හතරක පමන ප්‍රමාණයක් වැරදි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති, රවී කුමුදේශ් විසින් පෙන්වා දී ඇති බවයි.

“ඒකෙදී වැදගත්ම දේ තමයි මට්ටක්කුලියේ, මෝදර ඒ මිය ගිය කාන්තාවගේ පරීක්ෂණ වාර්තාවත් කෝව්ඩ් 19 කියලා තහවුරු වෙච්ච වාර්තාවත් වැරදියි කියලා එතුමා කිව්වා. දැන් සෞඛ්‍ය ඇමතිතුමිය තාම නිශ්ශබ්දයි. ඒ පවුලට විශාල අසාධාරණයක් වෙලා තියනවා. මොකද කොවිඩ් 19 රෝගියකු ලෙස සලකලා තමයි ඒ කාන්තාවගේ අවසන් කටයුතු කළේ,” යි මැයි 13 බදාදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එබැවින් එම පවුලට හා එම පවුලේ අයිතිවාසිකම් වලට සිදුවු අසාධාරණය වෙනුවෙන් වගකියන්නේ කවුරුන්දැයි හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කළේය.

“කවුද ඒකට වන්දි ගෙවන්නේ, කවුද ඒක වෙනුවෙන් කතා කරන්නේ, ඇයි සෞඛ්‍ය ඇමතිතුමිය මේ ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි මේක හංගන්න හදන්නේ. මේක රජය පැහැදිලිව හංගනවා.”

ලොව පුරා රටවල් 180 කට වැඩි ප්‍රමාණයක් කොරෝනා හේතුවෙන් මියගිය අයගේ පවුල් වල කැමැත්ත අනුව භූමදානය හෝ ආදාහනය කිරීම නිර්දේශ කර ඇති බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍යවේදීන් සමග කියා තිබුනේ ලංකාව තුළ භුමදානය කිරීම සදහා අවස්ථාවක් නොදීමෙන් “පලිගැනීමක් වැනි යමක්” පෙන්නුම් කරන බවයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් සහ එම සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රිෂාඩ් බදුර්දීන් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුනි.

ලෝකෙටම වෙනස් ලංකාව

මැයි 8 දිනැතිව යොමු කර ඇති අදාළ ලිපිය මගින් හිටපු ඇමැතිවරයා පෙන්වා දී තිබුනේ 52 හැවිරිදි මෝදර කාන්තාව කෝවිඩ්-19 හේතුවෙන් සිදුවූ මරණයක් බව මුලින් කියා සිටිය ද මේ වන විට එය එසේ නොවන බව සනාථ වී ඇති බවයි.

එමෙන්ම ලෝකයම පිළිගත් භූමදානය ශ්‍රී ලංකාව විසින් පිළිනොගැනීම හරහා මුස්ලිම් ජනතාව වෙත වෙනස්කම් සිදුකරන බවද හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සදහන්ව තිබු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

කෝවිඩ් 19 වසංගතය පැතිරීම සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට පසුගියදා දැනුම් දීමක් ද කර තිබුනි.

මුස්ලිම්වරුන්ට එරෙහිව කෙරෙන වෙනස්කම් පෑම් හෙලා දකින රටවල් 57 කින් සැදුම්ලත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා තිබුනි.

කොරෝනා රෝගාතුර වී මියයන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, කෝවිඩ් 19 වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර තිබේ.

Facebook Comments

Ivory Agency Ad