අතුරුදහන් පුතා ඉල්ලා සටන් වැදී සිටි තවත් පියකු මරුට (VIDEO)

0

යුද හමුදාව විසින් දොලොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබූ සිය පුතුගේ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් සිව් වසරකට ආසන්න කාලයක් අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත වු තවත් දෙමළ පියෙක් පිළිතුරු නොලබාම මියගොස් තිබේ.

අතුරුදහන් වු සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වවිනියාවේ අඛණ්ඩව ක්‍රියාත්මක වන සත්‍යග්‍රහ භුමියේ දින 1222 ක් වාඩිලා සිටි කදිර්ගාමු තිරුනාවුකරසු පියා මිය ගොස් ඇත්තේ ඉකුත් ජුනි 23 දාය.

වවිනියාව, සෙට්ටුකුලම, ක්‍රිස්තවකුලම් හි පදිංචිකරුවකු වු ඔහු මිය යන විට 69 වන වියේ පසු වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් තම ඥාතීන් සොයමින් දින දහසද ඉක්මවා උතුරු නැගෙනහිර අරගලයේ යෙදී සිටින්නන්ගේ මුල් පෙලේ නියෝජිතවරියක් ජිනීවා නුවරදී මාස තුනකට ඉහත හෙළිකර තිබුනේ ඒ වන විටත් යුක්තිය නොලබාම මියගොස් ඇති ගණන හැත්තෑවකට ආසන්න බවයි.

සිය සැමියාගේ මරණයෙන් පසු, මාධ්‍ය වෙත අදහස් දක්වමින් පනස් නම වියැති තිරුනාවුකරසු කුමාරතී මාතාව හෙළි කර සිටියේ 2008 වසරේ අප්‍රේල් 12 දින පැමිනි සන්නද්ධ යුද හමුදා සාමාජිකයන් කණ්ඩායමක් තිරුනාවුකරසු විග්නේස්වරන් නමැති සිය තරුණ පුතු පැහැරගෙන ගිය බවයි.

ජීවනෝපාය ලෙස දෛනිකව කුලී වැඩ කර ජීවත් වු තම පුතු එදින වැඩ නිම කර නිවෙසට පැමින ආහාර ගැනීමෙන් පසු බුලත් විටක් සපමින් සිටින මොහොතක ආයුධ රැගෙන පැමිනි යුද හමුදාවේ 30-40 ක් පමණ වු භට පිරිසක් නිවෙස වටකර තිරුනාවුකරසු විග්නේස්වරන් ඔවුන්ගේ බාරයට ගත් අයුරු සිහි කරමින් තිරුනාවුකරසු කුමාරතී මාතාව කියා සිටියේ එහිදී තමන් කෑ ගසන විට බියගැන්වීමට වෙඩි තැබු හමුදා සාමාජිකයන් පයින් පහර ද දුන් බවයි.

මුහුණ සම්පුර්නයෙන්ම ආවරණය කිරීමෙන් පසු හමුදා ට්‍රක් රථයක සිය පුතු රැගෙන ගිය බව පවසන ඇය කියා සිටින්නේ ප්‍රදේශයේ හමුදා කඳවුරු ඇතුළු සම තැනකින්ම පුතු ගැන විමසුවත් ඔහු සොයාගැනීමට නොහැකි වු බවයි.

දොළොස් වසරක් තිස්සේ අතුරුදහන් කර සිටින සිය පුතු සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව තිරුනාවුකරසු කුමාරතී මාතාව වැඩි දුරටත් සදහන් කළාය.

“තමන්ගේ දුක්ගැනවිල්ලට විසඳුම් නොලබාම අපේ අම්මාවරුන්ගේ විරෝධතාවල යෙදී ඉන්නා 69 දෙනෙක් මේ වනවිට මියගොස් තිබෙනවා,” යි උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලිලාදේවී ආනන්දනඩරාජා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වැනි සැසිවාරය හමුවේ ඉකුත් මාර්තුවේ කියා තිබුනි.

අවුරුදු දෙකත් පසුකළ OMP කාර්යාලය

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර දෙකක් පසුකර ඇත.

ඉකුත් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව OMP ප්‍රධානියාද පිළිගෙන තිබේ.

“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ සමීපතමයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග පසුගියදා ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.

Facebook Comments

wedding people