තල්රුක බිඳ වැටිණි. The Broken Palmyra

0

රාජිනී තිරාණගම

මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ වෛද්‍ය රාජිනී තිරණගම ඝාතනය කෙරුණේ 1989 සැප්තැම්බර් 21දාය. මේ වන විට ඇය අප අතරින් නික්ම ගොස් වසර 27කි. යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යවච්ඡේද පීඨයේ මහාචාර්යවරිය වූ ඇය ඝාතනය කෙරෙන විට 35 වැනි වියේ පසු වූවාය.

චුන්ඩුකුලි විද්‍යාලයෙන් හා යාපනය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රාජිනී කොළඹ විශ්විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හිමිකර ගත්තාය. පසුව ලිවර්පූල් වෛද්‍ය විද්‍යාෙලයෙන් පශ්චාද් උපාධිය හැදෑරුවාය. ඇගේ පියා වඩුක්කොඩෙයි යාපන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වූ ඒ. රාජසිංහම් මහතාය. රාජිනීගේ සොයුරියන් වූ නිර්මලා, සුමති හා වාසුකීද අධ්‍යපනය ලැබුවේ එම පාසලෙනි.
( සුමති පසුගිය දිනවල වතුකරයේ තරුණයන් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළ අතර එය නිෂ්පාදනය කළේ ධර්මසේන පතිරාජ විසිනි. එහි විශේ ෂ දර්ශණයක් සඳහා ඇය මටද ඇරියුම් පතක් එවා තිබිණි.)

කලක් යාපනය මහ රෝහලේ සහ හල්දුම්මුල්ල ප්‍රෙද්ශයේ (දැන් පඹහින්න රෝහල විය යුතුය.) කුඩා රෝහලක වෛද්‍යවරියක ලෙස කටයුතු කළ රාජිනී ක්‍රිස්තියානි පසුබිමකින් පැවැත ආ රැඩිකල් තරුණියක වූවාය. දෙමළ ජනතාව මුහුණ දුන් අවනීතියට හා ආසාධාරණයට එරෙහිව නීතිය හා සාධාරණත්වය ඉටු කර ගැනීම සඳහා ඇය බෙහෙවින් කැපවූවාය.

ඇය විවාහ වූයේ සිංහල තරුණයකු වූ දයාපාල තිරාණගම සමඟිනි. විශ්වවිද්‍යාලයෙන් ඇරඹුණු ප්‍රේමය විවාහයකින් අවසන් විය. දයාපාල ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු විය. රැඩිකල් රාජිනී ඔහු හා විවාහ වන්නට තීරණය කළාය.1977 අගෝස්තු 27 දින කිසිදු උත්සවයකින්තොරව කොළඹදී ඔවුන් විවාහ වූයේ කොළඹ දෙමළ විරෝධී අරගලයක් ක්‍රියාත්මක වෙමින් පැවැති සමයකය.

රාජිනී ඝාතනය කෙරුණේ ඇය පාපැදියෙන් නිවෙස කරා පැමිණෙමින් සිටියදීය. 1989 සැප්තැම්බර් 21 දින ඇය සුපුරුදු පරිදි විශ්වවිද්‍යාල සේවය නිමවා නිවෙස කරා යමින් සිටියාය. ඝාතකයෝ පැමිණියේ ඇගේ පසුපසිනි. කිසිවකු තමා අමතනවා අසුණු ඇය පාපැදිය නවතා හැරී බැලුවාය. ඔවුහු ඇයට වෙඩි තබන්නට වුහ. වෙඩි පහරින් ගැලවීම සඳහා ඇය තම දෑතින් මුහුණ ආවරණ කර ගත්තාය.එහෙත් ගැලවීමක් නොවීය. වෙඩි වැදී බිම පතිත වූ ඒ නිරායුද ගැහැණියගේ හිසට තවත් වෙඩි පහර දෙකක් එල්ල කළ ඝාතකයෝ පාපැදිවලින් පලා යන්නට වුහ. ලේ විලක් මැද ඇය ගේ නිසල සිරුර මහ මඟ බයිසිකලය අසල වැටී තිබිණි. ඇය ඝාතනය කෙරුණේ ඔවුන් පදිංචිව සිටි නිවෙස ආසන්නයේදීය. වෙඩි හඬ ඇයගේ දියණියට ඇසී තිබිණි. ‘තවත් ඝාතනයක්“ ඇයට සිතිණි. එහෙත් ඒ තම මව යැයි ඇය කිසිවිටෙක නොසිතුවාය.

කලකට ඉහත එල්.ටී.ටී.ඊ. සංවිධානය අවි දැරූ කුඩා කණ්ඩායමක් විය.එය දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ව්‍යාප්තව නොතිබූ අතර ඉන්දියානු හමුදාව හා නිතර ගැටුම් ඇති විය. එල්.ටී.ටී.ඊ. සංවිධනයට සම්බන්ධව සිටි ඇතැම් පිරිස් හා ඇය අතර හැඳුනුම්කමක් තිබිණි. ඒ ඇයගේ වැඩිමහලු සොහොයුරිය වූ නිර්මලා එල්ටීටීයට සම්බන්ධව සිටි බැවිනි.

එහෙයින් මුල් අවධියේ තුවාල ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ඇය ප්‍රතිකාර කළාය. පසුව තත්වය වෙනස් වූ අතර උතුරේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇය විශාල හඬක් නැගුවාය.

රාජිනීට අවශ්‍ය වූයේ විදේශයන්හි සිදු වු සාර්ථක විප්ලව හා සමාජ නීතිය පිළිබඳ උපයෝගිතා නිදර්ශන ශ්‍රී ලංකාවට ආරෝපණය කිරීමටය.රාජිනී එල්ටීටීඊය වෙත නැඹුරු වූයේ මෙම උපයෝගිතාව මතය.එහෙත් පසුකාලයේ ඇය ඔවුන්ගෙන් ඈත් වන්නට බලපෑවේද එම දේශපාලනිත උපයෝගීතාවමය. එල්ටීටීඊය
භයානක ත්‍රස්තව්‍යාපාරයක් ලෙස වැඩෙනු ඇය දුටුවාය. උතුරේ සිදු කෙරුණු මානව හිමිකම් කඩවීම් ඇයට දැඩි වේදනාවක් ගෙන දුන්නාය.

රාජිනි මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස හඬ නගන්නට වූයේ සියලු පාර්ශ්වයන්ගෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වීම් තව දුරටත් දරාගත නොහැකි වූ බැවිණි.මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය බිහි කිරීමේ එක් පුරෝගාමිකාවක වූයේ ද ඇයයි.

රාජනී ඝාතනයේ වගකීම කිසිවකු විසින් බාර ගත්තේ නැත.ඉන්දියානු හමුදාවට සහය පළ කළ ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයා් සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින් උද්ඝෝෂණ කළහ.ඉන්දියානු හමුදාවෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් රාජිනී හා ඉන්දියානු හමුදාව අතර අර්බුද පැවැතිණි. අවසානයේ එම ඝාතනය පසුපස එල්.ටී.ටී.ඊ සංවිධානය සිටි බැව් අනාවරණ විය.

රාජනී ඝාතනයට සහය දැක්වූවන්ගෙන් දෙදෙනකු වෛද්‍ය පීඨයේ ඇගේම සිසුන් දෙදෙනකු බැව් පසුව අනාවරණ විය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයන් ලෙස කටයුතු කළ ඔවුහු රාජිනී පිළිබඳ සියලු තොරතුරු ඝාතකයන්ට ලබා දුන්හ. පසුව ඔවුන්ගෙන් එක් අයෙක් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍යවරයෙක් ලෙසද සේවය කළේය. මේ වන විට මොවුන් දෙදෙනාම යුරෝපා රටක වෛද්‍යවරු ලෙස සේවය කරති.රාජිනීට වෙඩි තැබුවෝ කවුරුන්ද යන්න අදටද රහසක්ව පවතී.

1989 සැප්තැම්බර් 25 වැනි දින නල්ලූර්හි පිහිටි පවුලේ සුසානභූමියේ රාජිනීගේ දේහය මිහිදන් කෙරිණි. රාජිනී රාජසිංහම් තිරාණගම තම දියණියන් දෙදෙනා වන නර්මදා හා ශාරිකාද සැමියා වූ දයාපාල තිරාණගමද මෙලොව තනිකර දමා මල හිරු බසිනා සැඳෑයාමයක ලොවින් සමුගත්තාය. දෙමළ ජනයාගේ මානව හිමිකම් උදෙසා ඇයට තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.

1993 නොවැම්බර් මාසයේ මා යාපනයට ගියේ හමුදාව හැර කිසිදු සිංහල සිවිල් වැසියකු එහි නොයන වාතාවරණයක් තුළය. ජීවිතය පරදුවට තබා එහි යෑමට මම තීරණය කළේ මගේ මාධ්‍ය උණ නිසාය. එල්ටීටීය ඉතා බලවත්ව සිටි එකල යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් රාජිනීගේ ඡායාරූපයක් විශ්වවිද්‍යාලයේ මුල්ලක එල්ලා තිබෙන අයුරු දුටු මම විමතියට පත් වූයෙමි.

කෙසේ වුවද ජාති කුල බේද නොතැකූ රාජිනී වැන්නියක, බුද්ධිමතියක, සමාජ ක්‍රියාකාරිනියක ඝාතනය කිරීමේ පාපයට ( තවත් බොහෝ දෙනකු නිරපරාදේ ඝාතනය කළ පාපයට) එල්මේටීටීඊය වන විට වන්දි ගෙවා හමාරය. එහෙත් ඔවුන් අතින්මිය ගිය දැයට මහඟු සේවයක් කළ හැකි මිනිසුන් යළි අප අතරට නොඑනු ඇත. ඔවුන්ගේ මතකය සුවඳ පිරුණු සිහිනයක්ම පමණි.

ආචාර්ය රධිකා කුමාරස්වාමි වරක් සඳහන් කළ පරිදි රාජිනීට තම වර්ගයා වෙනුවෙන් විශාල කැපවීමක් තිබිණි.දෙමළ ජනයා සියලු ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් හා නිදහස භුක්ති විඳිමින් අභිමානයෙන් හා සාමයෙන් ජිවත් විය යුතුයැයි ඇය විශ්වාස කළාය.භීෂණය මධ්‍යෙය් ජීවත් වෙමින් ආත්මාභිමානය උදෙසා සටන් කළ ඇය සමාජයට පහන් ටැඹක් බඳු වූවාය.
රාජනී පළ කළ කෘති අතර බිඳුණු තල්රුක ( The Broken Palmyra) සුවිශේෂී කෘතියක් ලෙස පිළිගැනෙයි.

මේ වන විට දයාපාල හා නර්මදා එංගලන්තයේ ජිවත් වන අතර ශාරිකා ජීවත් වන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේය. 2005 දී රාජනිගේ චරිතය ඇසුරින් නිර්මාණය කෙරුණු හෙලන් ක්ලොඩව්ස්කි අධ්‍යක්ෂණ්‍ය කළ ‘නෝ මෝ ටියර්ස් සිස්ටර්“ නමැති වාර්තා චිත්‍රපටයේ රාජිනීගේ චරිතයට පෙණ පොවනු ලැබුවේ ශාරිකා විසිනි.
එම චිත්‍රපටය මෙම ලින්ක් එකෙන් නැරඹිය හැකිය එහි කොටස් හතක් ඇති හෙයින් සියල්ල නරඹන්න අමතක කරන්න එපා.

රාජිනී ගැන ලියවුණු දෙමළ කවි කීපයක් නිලාර් එන් කාසිම්ගේ ‘සහෝදර පියාපත්’ දෙමළ පරිවර්තිත කවි පොතට ඇතුළත් වී තිබුණා. මේ චේරන් ලියු කවියේ නිලාර්ගේ පරිවර්තනය . මෙය ලබාදුන්නාට නිලාර්. ඔබට ස්තුතියි.

“තව මොහොතකින්
ඉර සැඟව යයි
රෑ අඳුර එයි
ඉතින් මේ අඳුර පෙර සේ නොවෙයි
යක්ෂයාගේ රැයයි

රමණීය සඳ එළිය මරා දා
පහන් තරු දැවූ. අළු
තවරගත් රැය මෙයයි
ඉදින් මේ රැයට පෙර
කඩිනමින් ඔබ දිව ගියේ
දල්වන්නටයි
පුංචි පහනක්- ඉටි පන්දමක්

මවුනි අද ඔවුන් සක්‍රියයි අපටත් වඩා
දකුණු දෙසතින් පැමිණි
යම දූතයන්
පිස්තෝලයයි- පතරොම් පහයි

ඔබ මෙබිම ඇද වැටිණ
ඒ විගස
හිරුගෙ අන්තිම කිරණ
බිත්තියේ පතිත කළ
ඔබේ සෙවණැල්ලෙ
දෙමිට මෙළවුණු දෙ අත
ඉහළ නැගුණේ
අනන්තයටයි..

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

Facebook Comments