බුරවි කුණාටුව මුලින්ම කඩාවැදුණු මුලතිව් දැන් කොහොමද? (VIDEO)

0

ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළින් දිවයිනට ඇතුල් වූ බුරවී සුළි කුනාටුව රටහැර ගිය පසු මුලින්ම ඊට හසුවූ මුලතිව් දිස්ත්‍රික්කයේ රක්ෂා ස්ථාන සොයා ගිය ජනතාවට ආපසු යා හැකි බව බලධාරීන් දැනුම් දී තිබේ.

පෙර නොවූ විරු අයුරින් මිලිමීටර් 402 ක වර්ෂාපතනයක් දිස්ත්‍රික්කයට ඇද හැලුණු අතර යාබද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරයාන්කුලම් වලින් මිලිමීටර 280 ක වර්ෂාවක් වාර්තාවී ඇත.

දිස්ත්‍රික්ක දෙකේම අස්වැන්න ලබන මාසයට යෙදෙන තෛපොංගල් සමයේ නෙලා ගැනීමට නියමිතව තිබු කුඹුරු යායවල් ජලයෙන් යටවී පවතින අතර දිය පිරී ඇති වැව් උතුරා යාමේ අවදානමක්ද ඇති බව අවදානම නොතකා ප්‍රදේශයේ සංචාරය කළ වාර්තාකරුවෝ පවසති.

වැව බැම්ම පුපුරා යාම වැලක්වීමට සොරොව් විවෘත කිරීම සමගින් තුනුක්කායි සහ නැගෙනහිර මාන්තායි අවට ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

වසංගත තහංචි නිසා ජීවිකාවට බාධා පැමිණි පළාතේ ජනතාව වැසි හානියෙන් නැවත අවුල් වූ ජීවිත ගොඩනගාගැනීමේ අර්බුදයට නැවත වතාවක් මුහුණ දී ඇතැයි වාර්තාකරුවෝ කියා සිටියහ.

දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත් වලට බල පෑ බුරවි සුළි කුණාටුවේන් එම දෙපළාතේ දිස්ත්‍රික්ක හයකට අයත් පවුල් 3575 ක පුද්ගලයන් 12,252 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ සුළි කුණාටුවේ බලපෑමෙන් මේ දක්වා එකදු මරණයක් හෝ වාර්තා වී නොමැති අතර පුද්ගලයන් හතර දෙනෙක් තුවාල ලබද්දී එක් අතුරුදහන්වීමක් වාර්තා වී ඇති බවයි.

අතුරුදහන්වීම වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

එම මධ්‍යස්ථානය දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා දහවල් 12 ට නිකුත් කර තිබෙන තත්ත්ව වාර්තාවේ දැක්වෙන පරිදි ආරක්ෂිත මධ්‍යස්ථාන 79 ක් තුළ පීඩාවට පත් පවුල් 2911 ට අයත් පුද්ගලයන් 10,336 දෙනෙකු රඳවා සිටී.

සුළි කුණාටුවේ බලපෑමෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ ය.

එම සංඛ්‍යාව 7,749 කි.

යාපනය, කිලිනොච්චිය, මුලතිව් , වවුනියාව සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක බුරවි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති සෙසු දිස්ත්‍රික්කයන්ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 6795 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 18 ක් තුළ රඳවා සිටී.

යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 2,986 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත ස්ථාන 5 තුළ රඳවා ඇති සංඛ්‍යාව 539 කි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පුද්ගලයන් 91 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත ස්ථාන 52 ක් තුළ රඳවා සිටින පුද්ගලයන් සංඛ්‍යාව 2558 කි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ බලපෑමට ලක්ව ඇත්තේ පවුල් 10 ට අයත් පුද්ගලයන් 41දෙනෙකු පමණි.

මේ අතර සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 15 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 192 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් 2020 දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා පස්වරු 2.30 ට නිකුත් කළ ගොඩබිම ප්‍රදේශය සදහා අවසාන අවවාදාත්මක නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ “බුරවි” සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන්කරමින් පවතින අතර සුළි කුණාටුවේ බලපෑම ගොඩබිම ප්‍රදේශ සදහා අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

මුහුදු ප්‍රදේශ සදහා අවවාද

කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට දින උදෑසන කාලය වනතුරු තවදුරටත් ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කර තිබේ.

සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම නිවේදනය මගින් වැඩි දුරටත් උපදෙස් ලබා දී තිබේ.

Facebook Comments

wedding people