සදා නොමියෙන සටන්කාමියා

0

වසර හතලිස් නමයකට පෙර අද වැනි දවසක විප්ලවීය හදවත් තුළ සදා නොමියෙන සටන්කාමියා චේ ගුවේරා , බොලීවියාවේ “ල හිගේරා” හි අබලන් පාසල් ගොඩනැගිල්ලක් තුළ දී ජීවිතක්ෂයට පත් විය. සී.අයි.ඒ සහාය ලද බොලීවියානු රජයේ හමුදාව සහ ගරිල්ලා සටන්කාමීන් අතර යුරෝ ගිරිකඳුරෙහි ඇවිලී ගිය සටන්මැද තුවාල ලබන චේ ඔක්තෝබර් 8 වැනිදා හමුදාග්‍රහණයට ලක් වී පසුදිනයේ ම වෙඩි තබා මරා දැමිණ.

che1

තිස් නම වැනි වියේදී ලොවක්ම ක්ෂණික කම්පනයකට ඇද දමා සදාකාලික නිද්‍රාවේ ඇළුණු ඔහු උපතින් අර්නෙස්ටෝ ගුවේරා ඩී ලා සෙර්නා නම් විය. ආර්ජන්ටිනාවේ උපත ලබා බුවනෝර්ස් අයර්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරන හෙතෙම පසුකාලීන සංසිද්ධීන් රැසකින් ඉක්බිතිව තම සුවපහසු ගමන් මගෙන් ඉවත්ව, දුර්ග වූ ගමන් මගක් තෝරා ගන්නේය. ෆිදෙල් සහ රාවුල් යන ක්‍රස්තෝ සොයුරන් සමග එක්ව කියුබානු ජනතා සහයෝගයෙන් කියුබාව පාගා දැමූ බැටිස්ටා පාලනය බිඳ දමන චේ ගුවේරා නම් වෛද්‍ය තෙම ෆිදෙල් ක්‍රස්තෝගේ නව රජයේ මුදල් අමාත්‍ය තනතුරෙන් ද පසුව කර්මාන්ත අමාත්‍ය තනතුරෙන්ද පිදුම් ලබන්නේය. තනතුරු සහ ගරු නම්බු නාම පිළිබඳව වූ තමන්ගේම කියවීමකින් පොහොසත් වූ ඔහු නොබෝ කලෙකින් ඒ සියල්ලෙන්ම සමුගෙන අවතීර්ණ වන්නේ ඉරණම්දායක බොලීවියානු විප්ලවයට ය. බොලීවියානු විප්ලවය ,චේ ගුවේරා ගේ ජීවිතය පරාජය කර දමන ලදි. නමුත් චේ ගුවේරා යන නාමය තුළම ඇති විප්ලවීය බව වනසා දමන්නට සමතෙක් අද වනතුරුම මිහිමත ඉපදී නැති බව නියත ය.

castro-che

ඉතිහාසය හෝ සත්‍යය සදාකාලිකව වළලා දැමිය නොහැකිය. බොලිවියානු හමුදා විසින් “චේ ගුවේරා” නම් වූ මිනිස් සිත් පැහැරගත් විප්ලවවාදියාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානය විසි අට වසරක් තිස්සේ රහසක්ව පැවතිණ. නමුත් ඝාතනය සිදු වූ ‘ල හිගේරා’ වලට සැතපුම් තිහකටත් එහා පිහිටි ‘වැලේග්‍රන්ඩේ’ නම් වූ අත්‍යන්ත නගරයෙහි ගුවන්පථය අසල චේ ගුවේරා මිහිදන්ව සිටින බව හෙළිදරව් කරන්නේ බොලීවියානු විශ්‍රාමික ජෙනරාල් වරයෙකි. හෙතෙම , ජෙනරාල් මරියෝ වේගාස් සලීනාස් ය. එවකට , එනම් චේ ගුවේරා මරා දමන අවස්ථාවේ බොලීවියානු රජයේ හමුදාවේ 8 වැනි සේනාංකයේ නිළධාරියෙක් ලෙස කටයුතු කර තිබිණ. ” බොහෝ කාලයක් ගත වෙලා. දැන් ලෝකය මේ ගැන දැනගන්න කාලේ හරි” එසේ පවසන මරියෝ වේගාස් එපුවත ලොවට හෙළි කරන්නේය.

 
පුරා වසරක මෙහෙයුමකින් අනතුරුව 1997 දී එනම් චේ ගුවේරා ඝාතනය කර තිස් වසරකින් පසුව ‘වැලේග්‍රන්ඩේ’ ගුවන් පථයට නුදුරින් සමූහ මිනී වළවල් දෙකක් සහ මළ සිරුරු හතක් සොයා ගනීමට ඒකාබද්ධ කියුබානු භූවිද්‍යාඥ කණ්ඩායම සහ ආර්ජනිටිනියානු වෝහාරික විද්‍යාවේදීන් කණ්ඩායම සමත් වේ. ඒ අතරින් එක් සිරුරක් චේ ගුවේරාගේ මළ සිරුරට කළ පරිද්දෙන්ම අත් දෙක මැණික් කටුව අසළින් වෙන් කර තිබිණ. පස් අතර සඟවා තිබූ සටන්කාමියාගේ දත් ඔහු සඳහාකියුබාවේදී සකස් කළ කෘතිම දත් අච්චුව සමග සියයට සියයක්ම ගැලපිණ. “කියුබානුවන් කොහෙන් හෝ ඇටසැකිල්ලක් සොයාගෙන එය චේ ගුවේරාගේ කියලා කියනවා” යැයි විවේචනය කළ බොලීවියානු රජයේ හමුදාවේ නිනෝ ඩි ගුස්මාන් පවා තිගැස්මට ලක් විණ. දෙ අත් සිඳ දැමූ මළසිරුරෙහි නිල් පැහැ කබා සාකුවක කුඩා දුම්කොළ බෑගයක් විය. “දුම්කොළ බෑගය ගැන ඇහුවාට පස්සේ මට කිසිම සැකයක් නැහැ. ඒ චේ ම තමයි” මරා දමන්නට මොහොතකට පෙර චේ ගුවේරා හට “ල හිගේරා” හි දී එම දුම්කොළ බෑගය ලබා දී තිබුණේ නිනෝ ඩි ගුස්මාන් ම විනා වෙනකෙක් නොවේ. ඉනික්බිති තිස් වසරකට පසු තම සිත්ගත් දේශය වෙත කැඳවන චේ ගුවේරා 1997 ඔක්තෝබර් 17 වැනිදා කියුබාවේ ශාන්ත ක්ලාරාහි සුවිශේෂී සොහොන් ගැබක් තුළ සමාදානයේ සැතපෙන ලදි.

ඝාතනය කර දසක පහකට ආසන්න අද වන විට චේ ගුවේරා යනු වෙළඳ සංකේතයක් හෝ මායාවාදී දේශපාලනික වෙස්මුහුණක් යයි කෙනෙක් චෝදනා කරන්නට පුළුවන. නමුත් , චේ ගුවේරා යනු සැබෑ විප්ලවයම සහ සැබෑ අත්හැරීම ම විනා එයට මුවා වූ වෙන කිසිවෙක් නොවන බව හැදෑරීමෙන් උගත යුතු වේ. චේ ගුවේරා නම් වූ විප්ලවවාදියාගේ සිරුර නිහඬ කළමුත් ඔහු තවමත් නිහඬ නැත.

මාලිනී ගෝවින්න සිංහලයට නගන ” චේ” කෘතියේ එන මේ පරිච්ඡේදයේ සැබෑ චේ සදාකාලිකව ජීවමානය.

” මාරියෝ දක්ෂ වෙඩික්කාරයෙකු නොවුණා විය හැක. ඔහු මුලින්ම පිට පිට වෙඩි හතරක් එල්ල කළේය. ඒ සියල්ල වැදුණේ චේගේ ඉණෙන් පහළටය. තවමත් එළඹි සිහියෙන්ද, නොසිඳුණු එඩියෙන් ද යුතුව සිටි චේ, ඒ මොහොතේ හමුදා ලොක්කන් ඇමතීය.

che-soldiers
“මං දැනගෙන හිටියා උඹලා මාව මරා දමන විත්තිය. උඹලාට අහුවෙන්න මං පණපිටින් ඉතුරු විය යුතුව තිබුණේ නෑ. පිදෙල්ට කියාපල්ලා මට වූ මේ වැරදීම විප්ලවයේ අවසානය නොවන වග. එය කවදා හෝ වෙනත් තැනකින් මතුවේවි……..ඒ වගේම මේ සොල්දාදුවන්ට උඹලා කියලා දෙන්න ඕනෑ හරියට ඉලක්ක කරලා වෙඩි තියන හැටි.”

ඒ සමගම මාරියෝ ටෙරාන් පිට පිට තවත් වෙඩි දෙකක් චේට එල්ල කළේය. එකක් ඔහුගේ ගෙල පසාරු කරගෙන ගිය අතර අනෙක හදවතට එල්ලවිණ…… ”

– සහන් කසීර වික්‍රමසිංහ –

Facebook Comments

wedding people