අනාගත නැව් ගිනි නිවන්න පුරවැසි යෝජනා අටක්

0

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් නෞකාව හේතුවෙන් සිදුවු දැවැන්ත විනාශය නතර කිරීමටත් ඉදිරියට මෙවන් විනාශ සිදු නොවීමටත් රජය සහ බලධාරීන් වහා ක්‍රියා කළ යුතු බවට බල කරන සිවිල් සංවිධානයක් ඒ සදහා යෝජනා අටක් ඉදිරිපත් කර තිබේ.

මීගමුව පුරවැසි එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ තවමත් ගිනි ඇවිලෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ පරිසරයට, මිනිස් ජීවිතයට, මෙන් ම සාගර ජීවීන්ට මත්ස්‍යයන්ට සහ ජලජ ශාකවලට අතිශයන්ම අහිතකර අම්ල, රසායනික ද්‍රව්‍ය සහ ගින්නෙන් දැවී ගිය විවිධ කොටස් මුහුදට එක් වීම නිසා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වු පාරිසරික විනාශයක් සිදුවෙමින් පවතින බව සිය සිංවිධානය තහවුරු කරන බවයි.

“මුහුදු තීරයේ ජලය අවපැහැ ගැන් වී ඇති අතර මුහුදෙන් හමන සුළඟේ මින් පෙර විද නැති දුගඳක් වහනය වෙමින් පවතින අතර පිරිසිදු කිරීමට අපහසු තරම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු වෙරළේ ගොඩගැසෙමින් පවතී.”

මේ වන විටත් මුහුදේ මසුන් මිය ගොස් ජලය මතු පිට පාවෙමින් වෙරළට ගොඩගසාගෙන ගෙන එන අතර ඒවා තුළ නුහුරු ද්‍රව්‍ය රැදී ඇති බව දැකිය හැකියැයි මීගමුව පුරවැසි එකමුතුවේ හර්මන් කුමාර සහ අරුණ ශාන්ත නෝනිස් නිකුත් කළ නිවේදනය පෙන්වා දී තිබේ.

ඔවුන් දෙදෙනා වැඩි දුරටත් අවධාරණය කරන්නේ රජය ධීවරයන්ට මෙම මුහුදූ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසටද අනතුරු අගවා ඇති හෙයින් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව කබලෙන් ලිපටම ඇද වැටී ඇති බවයි.

දස දිනක් තිස්සේ ඇවිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායන ද්‍රව්‍ය මුහුදට මුසුවීම හේතුවෙන් මීගමුව ආශ්‍රිත මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත දැඩි අවදානමකට ලක්ව ඇති බව නාරා ආයතනය ද තහවුරු කර තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග පවසන්නේ සෑම රසායනික මූලද්‍රව්‍යක්ම එක් එක් ආකාරයෙන් සාගර පරිසරයට බලපෑම් කරන බවයි.

කෙසේ වෙතත්, “තෙල් හෝ රසායන ද්‍රව්‍ය කාන්දුවක් මේ වන තෙක් දැක ගත නොහැකිය,” යනුවෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මැයි 31 පෙරවරුවේ දැනුම් දී තිබුණි.

හලාවත සිට මිදිගම වෙරළ තීරය දක්වා ප්‍රදේශයට එකතු වූ ප්ලාස්ටික්වල බලපෑම එල්ල වී ඇති බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග ජනමාධ්‍ය වෙත වැඩි දුරටත් පවසා තිබුනි.

ඔහු තව දුරටත් සදහන් කර තිබුනේ රසායනික බලපෑම කොතරම් දුරට සිදු වී ඇත්දැයි පරීක්ෂා කිරීමට මාරවිල සිට කළුතර දකුණු දක්වා ස්ථාන 17කින් ජල සාම්පල ලබා ගන්නා බවයි.

නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර සිටම එහි තිබූ බහාළුම්වලින් රසායනික ද්‍රව්‍ය වහනය වෙමින් පැවති බැවින් හදිසි ගොඩබෑමක් සදහා කටාර් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති අතර එම රටවල් එය ප්‍රතික‍ෂ්ප කර ඇති අතර නියත වශයෙන්ම අවධානමක් පවතින බව දැන දැනම මෙම බහාළුම් නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම පිළිබදව නිසි බලධාරීන් අවසර දූන්නේද? අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්, පෙර සූදානම හා උපකරණ නොමැති අවස්ථාවක මෙසේ අවසර දූන්නේ කුමන පදනමකින්ද යන්නද මීගමු පුරවැසි එකතුව ප්‍රශ්න කරයි.

පෙර සූදානම පිළිබදව අවබෝධයකින් කටයුතු කළේ නම් මේ වන විට සිදු වී සහ සිදු වෙමින් පවතින විනාශය වලක්වා ගත හැකිව තිබු බව මීගමුව පුරවැසි එකතුවේ අදහසයි.

මීට මාස ගණනාවකට පෙරද ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී මෙවැනි අනතුරක් සිදු වු බව මතක් කර දෙන එම සංවිධානය තව දුරටත් ප්‍රශ්න කරන්නේ මේ වන විට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ආසන්නයේ අති විශාල නෞකා ප්‍රමාණයක් එහා මෙහා ගමන් කරන නාවුක කේන්ද්‍රයක් ලෙසද නම්කර තිබියදීත් මෙවැනි අනතුරුවලට මුහුණ දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත්තේ ඇයිද යන්නයි.

මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ලකරමින්ගිනි ගැනීමට ලක් වු නෞකාවෙන් වන්දි අයකරගැනීමේදී ගැටළුකාරී තත්වයන් ඇති විය හැකි බවටත් මීගමුව පුරවැසි එකමුතුව සිය නිවේදනය මගින් අනතුරු අගවා තිබේ.

“මෙම මහා අනතුර නිසා වායු දූෂණය, සාගර දූෂණය මෙන් ම ගොඩබිම ද දූෂණයට පත්වෙන අතර දරුණු සෞඛ්‍යය ගැටලූ සමග ආපදා තත්වයක් ඇති විය හැක. සාගරයේ සිදුවන මෙවැනි අනතුරු පිළිබදව නිත්‍යානුකූලව ක්‍රියාත්මක විය හැකි සාගරය හා බැදුණු ජාත්‍යන්තර සම්මුති ගණනාවක් ඇතත් ශ්‍රී ලංකා රජය මේ සම්මුති බොහොමයක් අපරමානුත කර නොමැති බැවින් අවම වශයෙන් වන්දි ලබා ගැනීමේ ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ගයට පිවිසීමට අපට ඇහිරී ඇති බව මේ පිලිබද අදහස් දක්වන පරිසරවේදීන් සදහන් කර ඇත.”

මේ පිළිබදව උනන්දුවක් දක්වන පරිසර සංවිධාන සහ පුද්ගලයන් සමග නිශ්චිත නීතිමය සහ ප්‍රජා සහභාගිත්ව ක්‍රියා මාර්ගයන්ට යොමු වීමට මීගමුව පුරවැසි එකතුව අදහස් කරන අතර පහත සදහන් යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් රජයට සහ බලධාරීන් අවධාරණය කර සිටි.

1.මේ මහා විනාශය නිසා තමන්ගේ එදිනෙදා ජීවන වෘත්තියේ නිරත වීමට නොහැකිව ආදායම් අහිමිව පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාවට අවශ්‍ය සහන ලබා දීමට වහාම පියවර ගැනීම,

2.පරිසරයට සිදූව ඇති හානිය පිලිබදව සත්‍ය හෙලිදරවු කිරීමට රජය පියවර ගත යුතුය,

3.ශ්‍රී ලංකාව තුළ පවතින පහසුකම් සහ සම්පත් ප්‍රමාණවත් නොවන්නේනම් ජාත්‍යන්තර සහය ලබාගෙන හෝ මේ සිදුවෙමින් පවතින විනාශය නතර කිරීමට වහ වහා කටයුතු කිරීම,

4.මුහුදු තීරය ඔස්සේ පැතිරෙමින් තිඛෙන විනාශකාරී අප ද්‍රව්‍ය මීගමු කලපුවට සහ මුහුදට සම්බන්ධව ඇති අනෙකුත් මිරිදිය ජලාශ, ගංගා සහ ඇළ මාර්ගවලට කාන්දු වීම නතර කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම,

5.විද්‍යාත්මක පදනමක් මත ඇති වී ඇති පාරිසරික, ආර්ථීක සහ සාමාජීය විනාශය සහ දූෂණය පිළිබදව අධ්‍යයනය කර හානිය අවම කිරීමට පියවර ගැනීම සහ මෙම තත්වයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු ඕනෑම කණ්ඩායමකින් හෝ පුද්ගලයන්ගෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම,

6.මේ වන තෙක් ශ්‍රී ලංකා රජය වගකීමෙන් බැදී නොමැති සාගරය හා බැදුණු සාගර සම්මුති පිළිබදව අධ්‍යයනයක නිරත වී හැකි ඉක්මනින් එම සම්මුති අපරානුමත කිරීම සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම,

7.ඉදිරියේදී ඇති විය හැකි මෙවැනි අනතුරු පිළිබදව නිසි අධ්‍යයනයක් තුළින් එවැනි අනතුරු වළක්වා ගැනීමට සහ ඇති විය හැකි විනාශය අවම කර ගැනීමට නිසි පෙර සූදානම් යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීම,

8.මෙම බහාළුම් පැටවූ නෞකාවේ පැවති අවධානම පිළිබදව අවධානය යොමු නොකර හා අවදානම වලක්වාලීමට නිසි යාන්ත්‍රණයක් හා ධාරිතාවයක් නොමැතිව එය ශ්‍රී ලංකාවේ මුහුදු සිමාවට ඇතුළුවීමට අවසරය ලබා දීම පිළිබදව ස්වාධීන පුළුල් පරීක‍ෂණයක් පවත්වා මේ සදහා වගකිව යුතු සියලූම පාර්ශ්ව සහ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම.

දින දහයකට වැඩි කාලයක් තිස්සේ ඇවිලෙන ගින්න නිවීම සඳහා දැරෙන ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රයත්නය සාගර් ආරක්ෂා මෙහෙයුම 2 යනුවෙන් නම් කර ඇති ඉන්දීය නාවික හමුදාව අද උදෑසන විට නිකුත් කළ දර්ශන වල පර්ල් එක්ස්ප්‍රස් වෙළෙඳ නෞකාවෙන් තවමත් දුම් නගිනු දැකගත හැකිය.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ විශේෂ පරිසර දූෂණ ප්‍රතිචාර නෞකාවක් වන ICG සමුද්‍ර ප්‍රෙහාරි නෞකාව, ICG වෛභව් සහ ICG වජ්‍රා යන නෞකා සහ ඩොනියර් ගුවන්යානයට සහයට පැමිණ සිටින බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පවසා සිටී.

Facebook Comments

wedding people