තිලීපන් සමරුවට දිගින් දිගටම පොලිස් බාධා (VIDEO)

0

කොවිඩ් වසංගතය පාලනයට යොදා ගන්නා සෞඛ්‍ය රෙගුලාසි හා අපරාධ නීතිය යොදා ගනිමින් දෙමළ ජනයාගේ මළවුන් සැමරීමේ අයිතියට දිගින් දිගටම බාධා පමුණුවන බවට ශ්‍රී ලංකා පොලීසියට එල්ල වන චෝදනා තව දුරටත් වර්ධනය වෙමින් පවති.

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ කිරීමට ගිය දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සැප්තැම්බර් 23 වැනිදා යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, යාපනය මහ නගර සභාවේ මන්ත්‍රී එස්. රජිව්කාන්ත් සහ මන්ත්‍රීවරයාගේ සහායකයකු වන තංගරාජා රාජ ශ්‍රී ස්කන්ධන්ද පොලීසිය විසින් අධිකරණ වරෙන්තුවක් හෝ ඉදිරිපත් නොකර අත්අඩංගුවට ගෙන තිබුනේ සංහිඳියාව වෙනුවෙන් කැපවන බවට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා සභා රැස්වීමේදී ලෝක නායකයන් හමුවේ ප්‍රතිඥා දුන්දාට පසු දිනය.

උපවාසයේ යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය වටා යොදා තිබෙන යකඩ වැටට පිටතින් කපුරු දල්වා තිලිපන්ගේ 34 වැනි මරණ සංවත්සරය වෙනුවෙන් උපහාර දැක්වීමට දෙමළ මන්ත්‍රීවරයා සුදානම් වන මොහොතේ නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙක් පුජා භාණ්ඩවලට පා පහරක් එල්ල කරන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබේ.

මන්ත්‍රීවරයා ශාරිරිකව හිංසාවට පත් වන ආකාරයෙන් අත්අඩංගුවට ගන්නා ආකාරයත් එම වීඩියෝ දර්ශණ වල ඇතුලත්ව තිබේ.

අත්අඩංගුවට ගත් තිදෙනාම පොලිස් ඇප මත නිදහස් කිරීමට යාපනය පොලීසිය කටයුතු කර තිබෙන අතර නිරෝධායන නීතිය කඩ කිරීමේ චෝදනා යටතේ සැප්තැම්බර් 27 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුනට දැනුම් දී තිබේ.

උතුරේ වාර්තාකරුවන් පවසන්නේ සැප්තැම්බර් 24 සිට 27 දින දක්වා වසංගත නීති යටතේ තීලිපන් සැමරුම් තහනම් කරමින් යාපනය පොලීසිය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගෙන ඇති බවයි.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගත යුතුයි, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටවිය යුතුයි, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්විය යුතුයි, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කළ යුතුයි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කළ යුතුයි ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

නැගෙනහිරට උසාවියෙන් තහංචි

කොවිඩ් වසංගතය පාලනයට යොදා ගන්නා සෞඛ්‍ය රෙගුලාසි හා අපරාධ නීතියම යොදා ගනිමින් මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබු රාසයියා පාර්තිපන් අනුස්මරණ සමරු සතිය ද උසාවිය මගින් පසුගියදා තහනම් කර තිබුනි.

සැප්තැම්බර් 15 වැනිදා සිට 26 වැනිදා දක්වා මඩකළපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ඉඩමක පැවැත්වීමට නියමිතව තිබු මේ වසරේ සමරුව මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් කර ඇත්තේ කාත්තාන්කුඩි පොලිසියේ ඉල්ලීමකටය.

“මෙවැනි සමරු උත්සව පැවැත්වීමෙන් විරුද්ධවාදීන්ගේ ප්‍රහාර එල්ල විය හැකි බවත්, මේ දින වල පවතින කොරෝනා වසංගතය පාලනයට අදාළ සෞඛ්‍ය රෙගුලාසි අනුවත්, මෙවැනි සමරු උත්සව පැවැත්වීම තහනම් කරන්න” යැයි කාත්තාන්කුඩි පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ටි.පී.ගජනායක අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙවැනි සමරුවක් පවත්වන්නට සුදානම් බව පොලිස් බුද්ධි අංශ මගින් අනාවරණය කර ගත් බවද කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපති පවසයි.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තිලීපන් සමරුව අපරාධ නීතිය යටතේ තහනම් කරමින් නියෝගය නිකුත් කර ඇත්තේ මඩකළපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනබවන්, ක්‍රිෂ්ණපිල්ලෛ සේයෝන්, පෙරිම්බරාසා ජෙනගන්, සහ කදීහරන් නිසාන්තන් සමරු සංවිධායකයන්ටය.

ගිය වසරේ උතුරේ හර්තාල්

පසුගිය වසරේද රාසයියා පාර්තීපන් අනුස්මරණය කිරීම වළක්වාලමින් අධිකරණය නියෝග නිකුත් කර තිබුනි.

රාසයියා පාර්තීපන් අනුස්මරණය කිරීම වළක්වාලමින් අධිකරණයේ ද සහායෙන් රජය 2020 වසරේ සැප්තැම්බර් මාසයේ පනවා තිබු තහනමට විරෝධය පාමින් සැප්තැම්බර් 28 සඳුදා උදෑසන සිට සාර්ථක හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට උතුරු හා නැගෙනහිර දෙපළාතේ වැසියන් ක්‍රියා කර තිබුනි.

ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය බලයට පත් වීමෙන් පසු දියත් කරන ලද වඩාත් පුළුල් ජන සහභාගිත්වයකින් යුත් විරෝධතාව මෙම හර්තාලය ලෙස සැලකේ.

Facebook Comments

wedding people