සුව විරුවන්ගෙන් ආණ්ඩුවට නැවතත් රතු එළියක්

0
97

මාරාන්තික වසංගතයෙන් රටේ ජනතාව මුදවා ගැනීම සඳහා කැපවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා දිගින් දිගටම නොසලකා හැරීමට එරෙහි යළිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවට වසංගත මර්දනයේ නිරත සුව විරුවන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අනතුරු අඟවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව දැනුම් දී ඇත්තේ තමන් විසින් ඉදිරිපත් කර තිබෙන ගැටළු විසදීම සදහා කඩිනම් මැදිහත් වීමක් සිදු නොකරන්නේනම් ඔක්තෝබර් 8 දින දවස පුරා සේවාවෙන් ඉවත්වීමේ ක්‍රියාමාර්ගයක් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් රටපුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.

අඩු තරමින් තමන් විසින් සිදු කරන ඉල්ලීම් සදහා සාකච්ඡාවක්වත් ලබානොදීම තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සලකන ආකාරය අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇති බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ.

” සුව විරුවන් ලෙස බොරුවට නම් කලද ඔවුනට අවශ්‍ය සහන නොදී ප්‍රතිකාර හා සත්කාර සේවාව යහපත් ලෙස බාධාවකින් තොරව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පැහැදිලි නැත ”

පහත සදහන් ඉල්ලීම් අට සම්බන්ධයෙන් නොසලකා හැරීම, අවතක්සේරු කිරීම අසාධාරණයට ලක් කිරීම කිසිසේත් පිළිගත නොහැකි බැවින් අතිශය සාධාරණ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

1.කොවිඩ් මර්දනය සදහා සියලු කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා නොදීම,
2.කොවිඩ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7000/= ක මාසික දීසනාව අඛණ්ඩව ලබා නොදීම,
3.අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම,
4.සියලුම සේවාවන් වල පුරප්පාඩු නොපිරවීම,
5.සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් නොකිරීම,
6.කොවිඩ් විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබා නොදීම,
7.බහු කාර්ය සංවර්ධන බලකා සේවකයන් සෞඛ්‍ය ආයතන වලට අනුයුක්ත කිරීම නතර නොකිරීම,
8.අනියම් ආදේශක අය සදහාද , විශේෂ නිවාඩු හා නිරෝධායන ගෙවීම් සිදු නොකිරීම,

විරෝධතාවය දියත් කිරීමට පෙර සිය ගැටළු වලට විසදුමක් ලබා දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉටු කරනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විශ්වාසය පල කර තිබේ.

එම එකමුතුව වෙනුවෙන් රවී කුමුදේශ්, සමන් රත්නප්‍රිය, උපුල් රෝහණ, ඩබ්.ඒ.ඩී විමලරත්න, නාමල් ජයසිංහ, ධර්මකීර්ති ඈපා, දේවිකා කොඩිතුවක්කු, රෝයි ද මැල් හා උදේනි දසනායක යන වෘත්තිය සමිති නායකයන් ලිපියට අත්සන් තබා තිබේ.

එම ලිපියේ පිටපත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය , සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතත් යොමු කර ඇත.

Facebook Comments

Ivory Agency Ad