කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන්ගෙන් කාන්තා කොමිසමක්

0

මෙතෙක් පත් කර ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභා මගින් කාන්තාවන්ගේ ගැටළුවලට විසදුම් ලබා නොදීම නිසා කාන්තාවන්ම එක්වී මහජන කොමිසමක් පිහිටුවා ගෙන තිබේ.

“රාජ්‍ය කොමිෂන් සභා වල විෂය පථය ඉතා සීමිතයි. ඒවා විවිධ පාලන ක්‍රමවලට ද යටත්. කාන්තාවන්ගේ සැබෑ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නිදහස් පරිසරයක් අවශ්‍යයි. ඒවගේම ලිඛිතව පමණක් කාන්තාවන් වෙනුවෙන් පවතින නීතී රීති බලාත්මක කරගැනීම අවශ්‍යයි. ඒ නිසා, ලංකාවේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් නියෝජනය කිරීමේ අරමුණින් මේ නිදහස් කොමිසම අපි ආරම්භ කරනවා.” යැයි “සවිස්ත්‍රී” සංවිධානයේ ජාතික සම්බන්ධීකාරිකා පද්මා පුෂ්පකාන්ති පවසන්නීය.

ඇය මේ බව කියා සිටියේ මෙවර කාන්තා දිනයට සමගාමීව ස්ත්‍රීන් උදෙසා වන මහජන කොමිසම ප්‍රකාශයට පත් කරමින්ය.

ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පවතින ජීව විද්‍යාත්මක වෙනස්කම් හේතුවෙන් සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළ කාන්තාව විවිධ පීඩාවන්ට හා වෙනස්කම්වලට ලක්වන බැවින් ඉන් ඔවුන් මුදා ගැනීමට සහ කාන්තාවන්ගේ සංවර්ධනය, සහ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම කොමිසමේ අරමුණවේ.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ නිල තේමාව වූ “තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය“ යන්න උතුර, නැගෙනහිර, කඳුරට, වයඹ , දකුණ සහ බස්නාහිර පළාත් වල ජීවත් වන කාන්තාවන් නියෝජනය කරමින් මෙම නිදහස් කොමිසම පිහිටුවීමට කොළඹ මහවැලි කේන්ද්‍රයට එක්වූ ස්ත්‍රී නායිකාවන් 200 දෙනාගේම දැඩි විවේචනයට ලක් වී තිබේ.

ඔවුන් ප්‍රශ්න කර සිටියේ එවැනි සමානාත්මතාවක් හෝ අවම වශයෙන් කාන්තාව, කාන්තාවක් ලෙසට පිළිගැනීමක්වත් මෙරට සමාජය තුල නොමැති බවයි.

කාන්තාවගේ අයිතීන්, ආරක්‍ෂාව සහ පිළිගැනීම වෙනුවෙන් අතීතයේ පටන් අද දක්වා නොයෙක් අභියෝග, තර්ජන හමුවේ සටන් වදින සියලු ස්ත්‍රීන් සිහිපත් කරමින් පහන් දල්වා ගෞරව දැක්විණි.

“ආණ්ඩුව කලින් කලට විවිධ කොමිසන් රාශියකින් හඳුන්වා දුන්නත්, විවිධ කණ්ඩායම් විසින් විවිධ අවස්ථා වලදී ස්ත්‍රීන් සමිබන්ධයෙන් කථිකාවන් ගොඩනැගුවත් ඒවා කිසිවක් ලාංකීය ස්ත්‍රීයගේ සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නට සමත් වී නැහැ,“යැයි පද්මා පුෂ්පකාන්ති සඳහන් කළාය.

මෙම කාන්තා කොමිසම සඳහා වන මුලික අදහස පළමුව ඉස්මතු කළ විකල්ප අධ්‍යාපනික සහ පුහුණු මුලපිරීමේ පුහුණු උපදේශකවරයකු වන ලලිත් අබේසිංහ රැස්ව සිටි කාන්තා නායිකාවන් අමතා කියා සිටියේ , “අපිට නීතිමය ආවරණයක් අවශ්‍ය නැහැ. මෙය චක්‍රලේඛයකින් සිදුකළ දෙයක්නොවෙයි. අවශ්‍යතාවය මත බිහිකරගත් දෙයක්. එම නිසා මෙහි අධීකාරි බලය තිබෙන්නේ කාන්තාවන්ටයි” යනුවෙනි.

“යුද්ධයට, තරගකාරිත්වයට, ප්‍රාග් ධනයට , ලාභයට, කුලල්කා ගැනීමට එරෙහිව සියලු දෙනා එක්ව ස්ත්‍රීමය දැක්මක් සහිත ආදරණීය ලොවක් සාදන්නට උරදිය යුතුයි.“

මෙවැනි නිදහස් කොමිසමක් තුලින් වැඩ කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ඊට උරදුන් සමාජ සංවර්ධන ක්‍රියාකාරිනියක් වන රෝහිණි විරසිංහ පවසන්නීය.

“මම අහන්න කැමතියි අපේ නිදහස් වෙළෙඳ කළාපවල, ඇගලුම් ක්‍ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන්ගේ තත්වය දියුණු කරන්න කුමන අයවැයකින් ද මුදල් වෙන් කළේ? ඔවුන් වෙනුවෙන් නේවාසික පහසුකම් සපයන්න, මන්ද පෝෂණයෙන් පෙලෙන ඇතැම් කම්කරු කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලන්න, විවිධ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දෙන කාන්තාවන්ට ආරක්‍ෂාව සලසන්න ආණ්ඩුවේ කුමන දේශපාලනඥයාද කථාකළේ? පාර්ලිමේන්තුවේදි මොවුන් පිළිබඳව කථාකළේ කවදාද?” යනුවෙන් ඇය ප්‍රශ්න කරන්නීය.

ඌව – වෙල්ලස්ස කාන්තා සංවිධානයේ සභාපතිනි කේ. පී. සෝමලතා පෙන්වා දෙන්නේ දශක ගණනාවක සිට කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී ප්‍රශ්න ගණනාවක් තිබුණත් ඒවා පාර්ලිමේන්තුව ඇතුළු කිසිදු මහජන සභාවක කතා නොවන බවයි.

“අපිට වේදිකාවක් අවශ්‍යයි අපේ ප්‍රශ්න ගැන ආමන්ත්‍රණය කරන්න. ඒ නිසා මේ කොමිසන් සභාව ඉතාම කාලීන වැදගත් අවස්ථාවක් වෙයි කියා මම විශ්වාස කරනවා.”

ගොවි කාන්තාවන්ට සාධාරණයක් ඉටුකර ගන්න හැකි වේවි කියා පූර්ණ බලාපොරොත්තුවක් ඇතැයි පවසන අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ගොවි කාන්තාවන් නියෝජනය කරමින් පැමිණ සිටි ගොවි කාන්තා නායිකාවක වන ආරියවති ප්‍රනාන්දු විශ්වාසය පළ කරන්නීය.

“එදා දුකක් නැතිව වගාකරගෙන ජීවත් වෙච්ච අපි අද බීජ ටිකත් නැතිව, අපිව මහා කරදර ගොඩකට ඇඳ දමලා. ගොවි කාන්තාවන් වන අපි ගැන, විඳින දුක ගැන කිසිවෙක් කථා කරන්නේ නැහැ. අපිව මතක් වෙන්නේ ඡන්දයට විතරයි.“

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුවෙන් විශාල ප්‍රයත්නයක් ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බැවින්, කාන්තාවන් විසින්ම තමන්ව ආරක්ෂා කරගැනීමට මූලිකත්වය ගෙන මෙවැනි පියවරක් තැබීම ගැන පැමිණ සිටී ස්ත්‍රී නායිකාවන්ගේ පැසසුමට හේතුවී තිබේ.

Facebook Comments

wedding people