යුක්තිය නමින් කරන ‘අයුක්ති සහගත’ මෙහෙයුමට ප්‍රහාරයක්

0

වැඩබලන පොලිස්පති විසින් දියත් කරමින් සිටින මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම තුලින් මානව අයිතිවාසිකම් කඩවී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ධූරයට පත් වූ විගසම ‘යුක්තිය මෙහෙයුම’ ආරම්භ කරන ලද දේශබන්දු තෙන්නකෝන් නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ සමයේ පුද්ගලයකුට ලිංගික හිංසන ඇතුළු වධ බන්ධන සිදු කිරීමට අණ ලබා දීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවෙකු වු අයෙකි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩබලන පොලිස්පතිගේ පත්වීම හෙලා දකිමින් කියා සිටියේ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති එවැනි පොලිස් නිලධාරියකු පොලිස්පති ලෙස පත් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවයි.

රැඳවියන් කිහිප දෙනෙකුට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරී සමයේ වරදකරු ලෙස දේශබන්දු හඳුනා ගනු ලැබුවේ ද ඔහු වැඩ බලන පොලිස්පති ලෙස පත් වීමෙන් සති දෙකකට පසුවය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සංවිධානයක ප්‍රධානියකු වන සුදේශ් නන්දිමාල් සිල්වා විසින් “අයුක්ති සහගත මෙහෙයුමක්” ලෙස ප්‍රතික්ෂේප කරමින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ මෙම මෙහෙයුම මගින් මහජනතාව විශාල ලෙස අසරණ වී ඇති බවයි.

‘යුක්තිය මෙහෙයුම’ යටතේ දෙසැම්බර් 17 වැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගැනීම් 22,000කට අධික ප්‍රමාණයක් සිදු කර තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්‍යක්ෂක මණ්ඩල සභාපති සුදේශ් නන්දිමාල් සිල්වා චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය දමා බොරු චෝදනා ගොනු කරමින් බන්ධනාගාර ගත කරන බවයි.

“නිකං මිනිස්සුන්ව අල්ලගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ට කුඩු අතින් දාලා මේ ගොල්ලෝ බන්ධනාගාරගත කරනවා. අනික් පැත්තෙන් බන්ධනාගාර පිරිලා. ඒ බන්ධනාගාරවල රැඳවියන්ට හරියට නිදිය ගන්නවත් බැරි තරමට පිරිලා. වෙන එ‍කක් තියා නිසිආකාරව ආහාර පානවත් නෑ. ඒ තත්වෙට ඇති වෙලා තියනවා. මේ යුක්තියේ මෙහෙයුම කියන මේ අයුක්ති සහගත වැඩපිළිවෙලෙන්.” සුදේශ් නන්දිමාල් පැවසීය.

1980 සිට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) කොටස්කාර ශ්‍රී ලංකාව, සැකකරුවකු නිරපරාදේ සිරගත කිරීම සම්බන්ධයෙන් වගවීමට බැඳී සිටී.

ලංකාණ්ඩුව විසින් 2021 වසරේ සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිවී තිබුනේ “බන්ධනාගාරගත ජනගහනයේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන” බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුව කෑගල්ල ප්‍රදේශයේ ජනාකීර්ණ වීම සියයට 511ක් ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය එය සියයට 443ක් ලෙස අනාවරණය කරගෙන ඇත.

ශ්‍රී ලංකාවද සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් සම්මත කොටගෙන ඇති මැන්ඩෙලා නීති නමින් හැඳින්වෙන බන්ධනාගාර අයිතිවාසිකම් පිළිබඳ කොන්දේසි ප්‍රකාර එවැනි තදබදයකින් විය හැක්කේ තවත් ගැටලු ඇති කිරීම පමණෙකි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බන්ධනාගාර පිළිබඳ වාර්තාවේ සඳහන් පරිදි සිර කුටි වල සිරකරුවන්ට දිවි ගෙඅන්නට සිදුවී ඇත්තේ “සාඩින් පැටවූ” ආකාරයෙනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව දැනට දශකයකට වැඩි කාලයක් තුළ බන්ධනාගාරවල තදබදය නොවිසඳී ඇති ප්‍රශ්නයකි.

එය 2016 දී 148.6% දක්වා අඩු වූ නමුත් ඉන් පසුව ක්‍රමයෙන් 2020 දී සමස්ත ප්‍රතිශතය 248.7% දක්වා වැඩි වී ඇත.

Facebook Comments

wedding people