තණබිම් කොල්ලයට එරෙහි මයිලත්තමඩු කිරි ගොවි විරෝධයට මාස දහයයි

0
106

නැගෙනහිර පළාතේ කිරි ගවයන්ට තණ කෑම සදහා වෙන්කර තිබෙන භුමියක බලහත්කාරයෙන් වාඩි ලා ගොවිතැන් කරන පිරිස ඉවත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කළ විරෝධතාවයට දස මාසයක් ගතවනතුරුත් විසදුමක් ලබා දීමට බලධාරීන් අසමත් වීම නිසා ප්‍රදේශයේ කිරි ගොවීන් බඩ වියත රැක ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටි.

තමන් මුහුණ දී සිටින ගැටළුවට විසදුම් ඉල්ලා අඛණ්ඩ අරගලයක නිරතව සිටින මඩකලපු දිස්ත්‍රික්කයේ කිරි ගොවීන්ගේ විරෝධතාවයට දින 300 ක් සම්පුර්ණ වු ජුලි 09 වැනිදා මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් පළාත් බද මාධ්‍යවේදීන් හා කියා සිටියේ මේ වන විට සිය ජීවනෝපාය සම්පුර්ණයෙන්ම නැවති ඇති නමුත් අරගලයකින් තොර ජයග්‍රහනයක් ලබා ගත නොහැකි බවයි.

“දින 300ක් ගියත් අපේ තණබිම් ලැබෙන තුරු අපි සටන් කරනවා. අපි දිගටම සටන් කළොත් තමයි අපට ප්‍රතිළුල ලැබෙන්නේ. සිංහල පදිංචිකරුවන් පැමිණිමට පෙර අපි දිනකට කිරි ලීටර් 6000ක් දුන්නා. දැන් කිරි ලීටර් 500යි ලැබෙන්නේ. කිරි හරක් මැරිලා. ජීවනෝපාය සම්පූර්ණයෙන්ම නැතිවෙලා. දවසකට කිරි ලීටර් 100ක් දීපු කෙනෙක් අද කිරි ගන්නේ ලීටර් පහයි.”

අඛණ්ඩ විරෝධයේ නිතරව සිටින කිරී ගොවීන්ට අමතරව ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහායද අද දිනයේ උද්ඝෝෂණයට හිමිව තිබේ.

මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී 2023 වසරේ සැප්තැම්බර් 15 වැනි සිකුරාදා දෙමළ කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් පසුවයි.

අඛන්ඩ විරෝධතාවයේ නිරත කිරි ගොවියන් පෙන්වා දෙන්නේ සිය ගවයන් තණකොළ කෑම සදහා භාවිත කළ ඉඩම් අක්කර දෙදාස් පන්සීයක් පමණ භුමි භාගයක් සිංහල ගොවීන් විසින් වගා කටයුතු වෙනුවෙන් මුලින් අත්පත්කරගෙන තිබුනත් තමන් අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින සමය තුළ තවත් ඉඩම් අත්පත්කරගෙන ඇති බවයි.

මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.

කිරි ගොවීන් පෙන්වා දෙන්නේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ අක්කර 6000 ක භුමියෙන් සරුසාරෙට තණකොළ වැවෙන අක්කර 2500 ට වැඩි ප්‍රදේශයක් සිංහල ගොවියන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි.

මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් චෝදනා කරන්නේ අඛණ්ඩ විරෝධතා දියත් වන දින 300 ක කාලය තුලදී සිංහල ගොවීන් තෘණ භුමිය වෙත වල් නාශක යෙදීම සහ තෘණ භුමි ගිනි තැබීමෙන් ආහාර හිඟ වීම නිසා කිරි ගවයන් දහසකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

“මෙම විරෝධතාව ආරම්භයේ සිට මේ දක්වා කිරි ගවයන් 1075 දෙනෙකු මැරිලා ගිහින්. අනවසර පදිංචිකරුවන්ගේ ආයුධවලින් කිරි හරක් 375ක් මරා දාලා. මේ වන තෙක් කිසිම වන්දියක් ලැබිලා නැහැ.”

සිංහල පවුල් 160 ට අයත් පුද්ගලයන් 300 දෙනෙකු තෘණ භුමිය තුළ බලහත්කාරයෙන් ජීවත් වන බව ඔහු මීට ඉහතදී හෙළි කර තිබුනි.

මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් ජුලි 09 වැනිදා තව දුරටත් චෝදනා කර තිබුනේ කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දෙන බවට රටේ ප්‍රධානියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ලබා දුන් කිසිදු පොරොන්දුවක් මේ දක්වා ඉටු නොවී ඇති බවයි.

“ජනාධිපතිතුමා සහ මහවලි සංවර්ධන අමාත්‍යවරයා හමුවී පොරොන්දු ලබාදුන් නමුත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. දිස්ත්‍රික් ලේකමුත් ආණ්ඩුවේ පොරොන්දුව විශ්වාස කරන්න කියලයි කිව්වේ. අපි මුළු ඉඩමෙන් හෙක්ටයාර් දහදාහක් තණබිම් සඳහා ඉල්ලා තිබුණා. ඊට පස්සේ අපි අඩු තරමේ හෙක්ටයාර් 7000ක් හරි ඉල්ලුවා. නමුත් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් හෙක්ටයාර් 3000ක් කියලා කිව්වා. නමුත් මුකුත් වෙලා නැ.”

ජනපතිගේ උසාවි යාම

ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2023 වසරේ ඔක්තෝබර් 15 වැනි ඉරිදා කිරි ගොවි ගැටළුවට විසදුම් සෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දෙමළ ජනතා නියෝජිතයන් පැවැත්වු සාකච්ඡාවේදී කිරි ගොවීන්ගේ ඉඩම් අත්පත්කරගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් ඉවත් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොලිසියට සහ මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ද උපදෙස් ලබා දී තිබුනි.

සිය අධිකාරියට අයත් භුමියක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් පිටස්තරයන් පිරිසක් තාවකාලික නිවාස ඉදිකර වගා කටයුතු කරන බවට මහවැලි සංවර්ධන අධිකාරිය ගිය වසරේ සැප්තැම්බර් 22 ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොවැම්බර් 13 වැනිදා නියෝග කර තිබුනේ නැගෙනහිර පළාතේ කිරි ගවයන්ට තණ කෑම සදහා වෙන්කර තිබෙන භුමියේ බලහත්කාරයෙන් වාඩි ලා ගොවිතැන් කටයුතු කළ සිංහලයන් දහතුන් දෙනකුට එම භුමියෙන් ඉවත් වන ලෙසයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එසේ වුවත් එම සිංහල ගොවීන් මේ දක්වා එම භුමියෙන් පිටව ගොස් නොමැති බවයි.

Facebook Comments

Ivory Agency Ad