වන්නියෙන් මතුවූ LTTE සිරුරු ‘අතුරුදහන් කරනු ලැබූ අයගේද?’

0
118

අනූව දශකය මැද භාගයේ අවිධිමත් ලෙස වල දමන ලද විමුක්ති කොටි සාමාජිකයන්ගේ සිරුරු බවට විද්‍යාත්මක වශයෙන් නිගමනය කර ඇති සමුහ මිනිවලකින් ගොඩගත් අස්ථි කොටස්, බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන්ගේදැයි සොයා ගැනීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා උත්සාහ කරමින් සිටී.

කොක්කුතොඩුවායි සමූහ සුසානයේ සිව් වැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කළ දිනට පසුදා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද පළාත් බද මාධ්‍යවේදීන්ට ඒ බව කියා තිබුනේ කැනීම් වල සමීපයේ සිටය.

“ඉහලම ප්‍රමිතියට අනුකූල වෙලා අතුරුදහන් පුද්ගලයන්ගේ ඉරණමත්, මේ වනවිට පැමිණිලි ලැබී තිබෙන අතුරුදහන් පුද්ගලයන් සහ සොයාගන්නා ලද සිරුරු අතර කිසියම් සම්බන්ධයක් වේ ද යන්නත් සොයාගැනීමට අපේ අපේක්ෂාවයි.”

වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මාස කිහිපයකට උඩදී මුලතිව් අධිකරණයට බාර දෙන ලද පිටු 35 ක අතුරු වාර්තාවෙන් නිගමනය කර තිබුනේ කොක්කුතොඩුවායි සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද සිරුරු වල දමා ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රාජ්‍ය පාලනයේ නියුතු 1994-1996 අතර කාලයේ දී බවයි.

2023 සැප්තැම්බර් හා නොවැම්බර් අතර දින 21 ක් තුල මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරි කනගසබාපති වාසුදේවගේ ද සහභාගිත්වයෙන් අදියර දෙකක කැනීම්වලින් අනතුරුව ගොඩගන්නා ලද ස්ත්‍රී සහ පුරුෂ ඇටසැකිලි 40ක් ආශ්‍රිතව එළැඹ ඇති ප්‍රධාන නිගමන අනුව වලදැමූ අගලේ වැතිර සිටින මළවුන් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ සටන්කරුවන් වන අතර එම සිරුරු වලදමා ඇත්තේ රහසිගතවය.

වින්දිතයන්ගේ දිවි තොර වීමට පෙර ඔවුන්ට ගිනි අවි ගැටුමකට මුහුණ දීමට සිදුවී තිබෙන බව ද මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවේ සඳහන් ය.

මහාචාර්යවරයාගේ අතුරු වාර්තාවට අනුව මෙම සටන්කාමීන් වල දැමීමේ සිද්ධියේ දිනය 1994ට පෙර හෝ 1996 ට පසුව සිදුවී නැත. එමනිසා ගොඩගන්නා ලද මෙවලම්වලින් යෝජනා කෙරෙන පරිදි මෙම සිද්ධිය 1994 හා 1996 අතර යම් දිනයක සිදුවූ බවට ඔහු නිගමනය කර තිබේ.

එම සිරුරු අතුරුදහන් කරනු ලැබුවන්ගේදැයි තහවුරු කරගැනීමට උත්සාහ කරන OMP සභාපති මහේෂ් කටුලන්ද පවසන්නේ ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටියක් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ පළමු සමුහ මිනිවල වන්නේද කොක්කුතොඩුවායි බවයි. ඔහු එය හැඳින්වූයේ ‘සුවිශේෂී සන්ධිස්ථානයක්’ ලෙසිනි.

“මෑතදී අපි ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටියක් ස්ථාපිත කළා. මේ ප්‍රමිතිගත මෙහෙයුම් පටිපාටිය අප විසින් යොදාගන්නා යොදාගනු ලබන මුල්ම සමූහ මිනීවලයි මේ. එමෙන්ම, වෘත්තික පාර්ශවකරුවන් 12 දෙනකු පමණ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. කැනීම් පටිපාටියට අදාලව ශ්‍රී ලංකාවේ විශේෂඥයන් විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන් යොදාගැනීම ඔහු විසින් හඳුන්වනු ලැබුවේ ‘සුවිශේෂී සන්ධිස්ථානයක්’ ලෙසිනි.

මුල්‍ය පහසුකම් සැපයිම සදහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මැදිහත් වුවද කැනීම් කටයුතු ස්වාධීන ආකාරයට සිදුවන බවටත් ඔහු සහතික වී තිබුනි.

“අපි මේකට සම්බන්ධ වෙලා ඉන්නේ අධිකරණ අමාත්‍යාංශය හරහා මුල්‍ය සම්පාදනය සඳහායි. ඒකට පහසුකම් සලසනු ලබන්නේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔස්සේයි. දිස්ත්‍රික් ලේකම්තුමා ඒ වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කරනවා. අධිකරණ අමාත්‍යංශ ලේකම් තුමාත්, අධිකරණ අමාත්‍යවරයාත් රාජ්‍ය මුල්‍ය ප්‍රතිපාදන හරහා මීට පූර්ණ වශයෙන් අනුග්‍රහය දක්වනවා. කෙසේවෙතත්, මේ කැනීම් සිදුකරගෙන යනු ලබන්නේ ඉතාම ස්වාධීන ආකාරයට.

හමුදාවෙනුත් තොරතුරු ඉල්ලනවා

කොක්කුතොඩුවායි සමූහ මිනි වල පිහිටි ප්‍රදේශය 1984 සිට 2012 දක්වා කාලය තුළ යුද හමුදාව යටතේ පැවැති ප්‍රදේශයක් බැවින් ඔවුන්ගෙන් යම් විමසීමක් සිදු කිරීම ආරම්භ කර තිබේදැයි වන්නි මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින් OMP විධායක අධ්‍යක්ෂ නීතිඥ ජෙනගානදන් තට්පරන් සඳහන් කර තිබුනේ සමුහ සුසානය මතු වු ප්‍රදේශය හමුදා පාලනය යටතේද පැවතියේ නම්, ඔවුන්ගෙන්ද තොරතුරු ඉල්ලා සිටින බවයි.

“එක පාර්ශවයක් විතරක් නෙමෙයි. මේ ප්‍රදේශයේ විවිධ කාල වලදී, විවිධ රාජ්‍ය ආයතන සහ පුද්ගලයන්ගේ පාලනයේ තිබුනා. මේ සම්බන්ධයෙන් හමුදාවෙන් හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම්වල සිට ඉවත් වී පුනරුත්ථාපනය වූ පාර්ශ්වයන්ගෙනුත් තොරතුරු එකතු කිරීමේ කාර්ය අපේ විවිධ ඒකකයන් සිදු කරමින් සිටිනවා. මේ ගැන වාර්තා ඉදිරි කාලය තුළ අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ වාර්තාව මත පමණක් ඉන්න බෑ. විවිධ පාර්ශ්වයන්ගේ වාර්තා, මිනින්දෝරු සිතියම්, මෙම ඉඩමට අදාළ බලපත්‍ර සහ එය අල්ලාගෙන සිටියේ කවුරුන්ද යන්න විවිධ දේ මත රඳා පවතිිනවා. හමුදාවත් පාර්ශවයක් නම් ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් දත්ත ඉල්ලා සිටිනවා.”

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කැබලි අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

Facebook Comments

Ivory Agency Ad