“මයිනසුත් නෑ. ප්ලසුත් නෑ” ජනපති උතුරේදී හෙළි කරයි (VIDEO)

0
33

බලය බෙදීම සම්බන්ධයෙන් මේතාක් නිශ්චිත තීරණයකට එළැඹ නොමැති බව ජනාධිපතිවරයා උතුරේදී හෙළි කර තිබේ.

“මං 13, මයිනස් ගැන කතා කරේ නෑ. මං කිව්වා ව්‍යවස්ථාවේ තියන එව්වා, මොකක්ද මං කරන්නේ කියලා. මයිනසුත් නෑ. ප්ලසුත් නෑ.”

උතුරේ සංචාරයක නිරත වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනය උදයන් පුවත්පතේ කාර්යාලයේදී අගෝස්තු 3 වැනිදා පෙරවරුවේ එසේ කියා සිටියේ 2015 සමයේ අගමැති ධුරය දරන විට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කළ නමුත් මේ වන විට 13 මයිනස් සම්බන්ධයෙන් කතා කරන්නේ ඇයිදැයි දෙමළ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට සිංහල බසින් පිලිතුරු දෙමිනි.

තමන් පවසන්නේ කුමක්දැයි සිංහලයන්ට දැන ගැනීම වෙනුවෙන් උතුරට පැමිණි විටද සිංහල බසින් කතා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදි අවධාරණය කර තිබුනේ රටේ ආර්ථික ප්‍රශ්නයට පිළිතුරු සැපයීම මේ මොහොතේ ප්‍රමුඛ කාර්යය වන බවයි.

“ප්‍රමුඛත්වය දෙන්න තියන තැනට දෙන්න. රටේ විශාල ආර්ථික ප්‍රශ්න තියනවා. අපි මෙතෙන්ට ආවේ ආර්ථික ප්‍රශ්න නිසානේ. මිනිස්සු අද ඉස්සෙල්ලාම බලන්නේ ආර්ථික ප්‍රශ්න. මෙහේ ආවමත් තරුණ අය මගෙන් අහන්නේ සංවර්ධනය ගැනයි. රැකියා ගැනයි. වෙන එකක් අහන් නෑ මගෙන්. මේ අදයි,ඊයෙයි, මං හම්බුන තරුණ අය ඔක්කොම ඇහුවේ මේ ප්‍රශ්නේ.”

උදයන් පුවත්පතේ ප්‍රධාන විධායක නිලධාරි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනභවන්, ප්‍රධාන කර්තෘ තා. ප්‍රභාකරන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවු ජනාධිපතිවරයා අනතුරුව මාධ්‍යවේදින් සමඟ සුහද කථා බහකට එක්වෙමින් ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේද අපේක්ෂකයෙකු වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ සංචාරයේ නිරතව තිබුනේ “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වීම වෙනුවෙනි.

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති අතර, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බව ද එහිදි පවසා තිබුනි.

අගෝස්තු 2 වැනිදා යාපනය වාලම්පූරි හෝටලයේ පැවති තරුණ හමුවට එක් වු ජනාධිපතිවරයා එහිදි සදහන් කර තිබුනේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ ද අගෝස්තු 2 වැනිදා යාපනය වාලම්පුරි හෝටලයේ දීම පැවති හමුවේදී , මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒ්කකය පවසන්නේ.

යාපනයේ සංචාරයක නිරත වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මීගහජඳුරේ සිරිවිමල නාහිමි, නල්ලෙයි ආදීනම් ආශ්‍රමාදිපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හා යාපනය රදගුරු ජස්ටින් ඥාණප්‍රගාසම් පියතුමා බැහැ දැකීමටද කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

Facebook Comments

wedding people