ජනපතිගේ බලය කපන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය රහසිගතව කතානායකට

0
864
wedding people
Loading...

ජනාධිපතිවරයාගේ විධායක බලය අහෝසි කරනු ලබන 20 වන ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා වෙත දන්වා යවා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගමන්පිල, රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ,ආචාර්ය ගුණදාස අමරසේකර ,නීතිඥ පාලිත සේනාධීර ඇතුළු 16 දෙනෙකු විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ඔවුන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබුනේ 20 වන සංශෝධන යෝජනාවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මැදිහත් පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර තිබුණේ තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විසිවන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි.

එම හේතුවෙන් අදාළ යෝජනාව සම්මත කිරීමේදී ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට තීන්දුවක් ලබාදෙන මෙන් මන්ත්‍රීවරයා සිය පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ එම යෝජනාව සම්මත කිරීම අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමතවිචාරණයක් ද අවශ්‍ය බවයි.

පුරා දින තුනක් තිස්සේ පැවති මෙම පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගනු ලැබීය.

Facebook Comments

Loading...