ගිනි ගන්නා තෙල් නැවෙන් රටට බලපෑමක් ඇති විමේ අවදානමක්

0

නැගෙනහිර මුහුදේ දී ගිනි ගනිමින් පවතින නෞකාවේ ඇති වී තිබෙන ගින්නෙන් එහි ගබඩා කර ඇති බොර තෙල් විසිරීමට පත්වුවහොත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉන් බලපෑම් සිදු විය හැකි බවට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවා තිබේ.

ගින්න ඇති වීමෙන් පසු සිදුවූ පිපිරීම් කිහිපයක් සමග නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් නිරීක්ෂණය වී ඇතත් තවමත් තෙල් විසිරීමක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසන්නේ.

“යම් හෙයකින් මෙයින් තෙල් විසිරීමක් සිදුවුවහොත් කල්කුඩා, පාසිකුඩා හා ආරුගම්බේ ප්‍රදේශයට හානි වෙන්න පුළුවන්. තෙල් ඉහළ පැත්තට ගියොත් වාකරේ ප්‍රදේශයට හා ත්‍රීකුණාමලයේ පිජන් දූපත් වලට හානියක් විය හැකියි. ඊට අමතරව තෙල් පහළට ආවොත් අනිවාර්යයෙන්ම කිරින්ද ප්‍රදේශය දක්වාම පැතිර යා හැකියි. වර්තමානය වෙද්දි එවැනි දෙයක් මෙතෙක් වාර්තා වෙන්නේ නෑ. නමුත් රටක් විදියට එවැනි දෙයක් වුනොත් මුණදීමට කළ හැකි සියලු දේ අනුගමනය කරමින් ඉන්නවා”

නැව වෙරළට ළඟා වෙනු ඇතැයි අනුමාන කරන බව පවසන ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මේ වන විට නැව සංගමන්කන්දට උතුරින් නාවික සැතපුම් 25ක් පමණ ඈතින් ස්ථාන ගතවී ඇතැයි කියා සිටියේය.

ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවු පිපිරුමක් හේතුවෙන් 03 බ්‍රහස්පතින්දා නැවෙහි ගින්නක් ඇති විය.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.

නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 22 ක් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී ඇති අතර, එම කාර්ය මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇත.

මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි නාවික හමුදාව නිවේදනය කරන්නේ.

Facebook Comments

wedding people