“කොරෝනා හැදුනා නම් මීට හොඳයි” මෑන්පවර් කම්කරුවෙක් (VIDEO)

0

දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ අනිවාර්ය ස්වයං නිරෝධායනය සදහා යොමු කර තිබෙන ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයන්ට බලධාරීන්ගේ පිලිසරණක් නොමැතිවීමෙන් එම සේවකයන් දිවි රැක ගැනීම සඳහා නිරතව සිටින දුෂ්කර අරගලය පිළිබඳ කනගාටුදායක තොරතුරු අනාවරණය වී තිබේ.

නිදහස් වෙළෙඳ වෙළඳ කලාපයේ සේවකයන්ගේ සහ මෑන්පවර් සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ වෘත්තීය සමිති කිහිපයක් ආයෝජන මණ්ඩලය වෙත ඔක්තෝබර් 26 සදුදා වීඩියෝ සාක්ෂිද සහිතව යොමු කර තිබෙන “හදිසි අභියාචනයක්” මගින් පෙන්වා දී ඇත්තේ එම සේවකයන්ට අවශ්‍ය දෛනික ආහාර පවා ලබා නොදී ගාල් කිරීමෙන් ඔවුන් දැඩි මානසික ආතතියකින් පෙළෙන ආකාරයයි.

“මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා,” යි කටුනායක ඇවරිවත්තේ ස්වයං නිරෝධායනයේ සිරවී සිටින මෑන්පවර් සේවකයකු පවසා තිබේ.

“එහෙම වුනා නම් ඉස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා දෙන දෙයක් කාලා ඉන්න තිබුණා.දැන් අපිට කර කියාගන්න දෙයක් නෑ. වැඩ තියෙයි කියලා හිතාගන්නවත් බෑ .බෝඩිමෙන් එළියට යන්නත් නෑ . හැමදාමත් කාමරයෙන් කාමරේ අනිත් අයගෙන් මොනව හරි ඉල්ගෙගෙන කන්න තමයි වෙලා තියෙන්නේ. දැන් දැන් අනිත් අය කාමරේ දොරවල් අරින්නෙත් නැහැ. ඇත්තටම ඒ ළමයින්ටත් නැතිකොට කොහොමද තවත් උන්ව බලාගන්නේ.ගෙදර යන්න විදිහකුත් නැහැ. කවුරුවත් අපි බාර ගන්න ලෑස්ති නැහැ .මෙහෙම ගියොත් වහ ටිකක් කන්න තමයි වෙන්නේ.”

පොලිස් තර්ජන

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ කොරෝනා දෙවැනි වසංගත රැල්ල මේ වන විට කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙළඳ කලාප (FTZ) වෙත වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන වෘත්තිය සමිති වැඩි දුරටත් අවධාරණය කරන්නේ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට නිරෝධායනය කරනු ලබන කම්කරුවන් 1000 කට වැඩි පිරිසකට අමතරව, බොහෝ කම්කරුවන්ට තම නේවාසිකාගාර සහ නවාතැන් පල තුළ ස්වයං නිරෝධායනය වන ලෙස බලකර තිබූ බවයි.

“කම්කරුවන් නවාතැන්වලින් ඉවතට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට නේවාසිකාගාර හිමියන්ට පොලීසිය විසින් අනතුරු අඟවා තිබේ.”

කෙසේ වෙතත්, මෙම කම්කරුවන්ට නිසි පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති නිසා, ඔවුන්ට ආහාර සහ ඖෂධ ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ ගබඩා කර ගැනීමට නොහැකි වී ඇති අතර, එබැවින් ඔවුන් මේ වන විට දිවි ගලවා ගැනීමේ අරගලයක නියැලී සිටින බව එම වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන පෙන්වා දෙයි.

එම වෘත්තිය සමිති ආයෝජන මණ්ඩලය වෙත යොමු කළ අභියාචනයේ දක්වා ඇත්තේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඇවරිවත්ත, ජයවර්ධනපුර හා අමන්දොලුව ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වලාන සහ කෝවින්න ප්‍රදේශ වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශ වන බවයි.

“තවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්තශාලා කිහිපයකින් COVID-19 ආසාදිත සේවකයන් සොයා ගැනීමෙන් පසුව, එම කර්මාන්තශාලා වල සේවකයන්ට රැකියාවට යෑම තහනම් කරන ලද අතර, ඔවුන්ගේ නේවාසිකාගාරවලින් පිටවීම වැළැක්වීම සඳහා ඔවුන්ට ගමන් තහනමක් ද පනවන ලදි. මෙම සේවකයන් වෙනුවෙන් වගකීම භාර ගැනීමට සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව කටයුතු කිරීමට කිසිදු ආයතනයක් ඉදිරිපත් වී නැත. රැකියාවට වාර්තා කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව ඔවුන්ගේ සේවායෝජකයන් විසින් ඔවුන්ගේ වරදක් ලෙස සැලකීම සිදුවේ. වෛරසය වේගයෙන් ව්‍යාප්ත වී ඇති ඇතැම් කර්මාන්තශාලා මගින් තම සේවකයන් සඳහා යම් සහන සලාක පමණක් ලබා දී ඇති අතර අනෙක් සේවකයන් තමන්ටම තමන්ව බලා ගැනීම හෝ කුසගින්නේ සිටීම පමණක් ඉතිරි කොට අත්හැර දමා තිබේ.”

නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ සහ මෑන්පවර් සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ වෘත්තීය සමිති තව දුරටත් අවධාරණය කරන්නේ කටුනායක ප්‍රදේශය හා ඒ අවට සිටින මෑන්පවර් හා අනෙකුත් දෛනික වැටුප් කම්කරුවන් 300-400 ක් පමණ ඔවුන්ගේ වාසස්ථානවල අනිවාර්ය ස්වයං නිරෝධායනයකට භාජනය වෙමින් සිටින බවයි.

සතියකට හෝ දෙකකට පෙර, නේවාසිකාගාරයක හෝ හවුල් නවාතැන්පලක යමකු ආසාදිත බවට පරීක්ෂණයෙන් හෙළි වූ පසු, ඒ අවට ඇති සියලුම නේවාසිකාගාරවල සේවකයන් වටකර, බස් රථවලට නංවා, රට පුරා හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යනු ලැබු බවටත් එම සංවිධාන චෝදනා කරයි.

නඩත්තුවට නිල ආයතනයක් නෑ

“දැන්, ආසාදිත බව තහවුරු වූ අය පමණක් ප්‍රතිකාර සඳහා ගෙන යනු ලබන අතර, අවට සිටින අයගෙන් ස්වයං නිරෝධායනයවන ලෙස ඉල්ලා සිටී. රජයේ නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායනය යටතේ සිටින බවට ඔවුන්ගේ ගේට්ටුවල ස්ටිකරයක් අලවනු ලැබේ. කම්කරුවන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතා පවා ලබා නොදී බිත්ති හතරක් ඇතුළත සහ ගේට්ටුවක් පිටුපස කොටු කර තිබේ. ඔවුන්ගේ නඩත්තුව සඳහා වගකිව යුතු නිල ආයතනයක් නොමැති නිසා මෑන්පවර් නියෝජිත ආයතන සේවකයන් මෙම තත්වයන් යටතේ විශේෂයෙන් අවදානමට ලක්ව තිබේ.”

දෛනික ආදායම් උපයාගනිමින් සිය සැමියා සමග කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ජීවත් වු සේවිකාවන් තමන් මුහුණ දී සිටින තත්වය විස්තර කර ඇත්තේ මෙලෙසිනි.

“මම මෑන්පවර් ඒජන්සියක සේවය කරනවා. මගේ සැමියා දෛනික වැටුප් සේවකයෙක්. අපි දෙන්නටම මාසයක් එක හමාරක් වැඩ තිබුණේ නැහැ. අපට ජීවත් වෙන්න විදිහක් නැත. අපට මේ වෙනකම් රජයෙන් කිසිවක්ම ලැබුණේ නැහැ. කලින් යුනියන් එකෙන් ලැබුනු සලාක බෑග් එකක් විතරයි හම්බ වුණේ,” යි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අනිවාර්ය ස්වයං නිරෝධායනයක යෙදී සිටින මෑන්පවර් සේවිකාවක් පවසා තිබේ.

මොන උදව්වක් හරි දෙන්න

තම නේවාසිකාගාර තුළ අනිවාර්ය ස්වයං නිරෝධායනයේ අසරණවී සිටින අමන්දොලුව මෑන්පවර් සේවකයන් ඉල්ලා ඇත්තේ කුමන අයුරකින් හෝ තමන්ට පිලිසරණක් වන ලෙසයි.

“අපේ බෝඩිමේ පිරිමි, ගැහැණු 20 ක් එක්ක දරුවන් හතර දෙනෙක් විතර ඉන්නවා. අපිට කෑම නැහැ. හැම කඩයක්ම වහලා. අපිට රස්සාව නැහැ. කරුණාකරලා අපිට මොන විදිහකින් හරි උදව් කරන්න.”

PCR පරීක්ෂණයට ලක් නොවූ සියලුම සේවකයන් සඳහා PCR පරීක්ෂණ සිදු කරන ලෙසත් ඉන් පසුව ඔවුන් රැකියා සඳහා යවන ලෙසත් ආයෝජන මණ්ඩලය (BOI) මෑන්පවර් ඒජන්සිවලින් ඉල්ලා තිබෙන බව පෙන්වා දෙන වෘත්තිය සමිති ප්‍රමුඛ සංවිධාන ආයෝජන මණ්ඩලයෙන් ප්‍රශ්න කරන්නේ කෑමට පවා මුදල් නොමැතිව අසරණව සිටින සේවකයන් තම පෞද්ගලික මුදල් වියදම් කරගනිමින් PCR පරීක්ෂණ කරන්නේ කෙසේද යන්නයි.

නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ සහ මෑන්පවර් සේවකයන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ වෘත්තීය සමිති ඒකාබද්ධව ආයෝජන මණ්ඩලයට යොමු කළ අභියාචනය මගින් ඉල්ලා ඇත්තේ පහත දැක්වෙන ඉල්ලිම් වලට කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙසයි.

වහාම ඉටුකළ යුතු ඉල්ලීම්

01. අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින සේවකයන්ට හදිසි සහන සලාක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබා දීම.

02. මෑන්පවර් සේවකයන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළුව, නිදහස් වෙළඳ කලාපයේ හා ඒ අවට කම්කරුවන් පිළිබඳ හදිසි සමීක්ෂණයක්, අවශ්‍යතා තක්සේරු කිරීමක් සිදු කිරීම,

03. මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව COVID-19 නිසා රැකියා අහිමිවූ හෝ දැනට වැඩ කිරීමට නොහැකි වූ නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් සඳහා රුපියල් 10,000 සෞඛ්‍ය දීමනාවක් ලබා දීම,

04. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ ඒ අවට සේවය කරන මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව සියලුම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම,

05.COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන සියලුම රජයේ නිරෝධායන පහසුකම් සහ රෝහල් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලවන බව සහතික කිරීම,

06. බෝඩිම්වල හෝ කර්මාන්තශාලාවල කිසිවෙකු COVID ආසාදිත බව හෝ රෝග ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන්නේ නම් සහ රජයේ ප්‍රතිචාර සහ හදිසි සම්බන්ධතා පිළිබඳ විස්තර ඇතුළුව අවදානම් සන්නිවේදනය සඳහා නිරන්තර ප්‍රවාහයක් පවත්වා ගැනීම. සියලුම සන්නිවේදනයන් සිංහල හා දෙමළ භාෂාවෙන් ලබා දී ඇති බවට සහතික වීම,

07. නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන කම්කරුවන්ට, අනිවාර්ය ස්වයං නිරෝධායනයක දී සහ / හෝ අගුලු දැමීමේදී වැඩට යාමට නොහැකි වූ අයට වන්දි ලබා දීම,

08. ඒකාබද්ධ කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරන ලද අගුලු දැමීමේදී වන්දි ගෙවීම පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ප්‍රසිද්ධ කිරීම සහ බලාත්මක කිරීම,

09. කර්මාන්තශාලා විවෘත කර ඇති විට හා වැඩ කිරීමට වාර්තා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින විට රජයේ සෞඛ්‍ය බලධාරීන් හරහා ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කාර්මික සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, ලංකා ගුරු සංගමය, දාබිඳු සාමූහිකය, විමුක්ති ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ නාවිකයන්ගේ ජාතික සංගමය, ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම, ශ්‍රමාභිමානී කේන්ද්‍රය, ලංකා නැගීසිටිමු ව්‍යාපාරය හා එක්සත් කම්කරු සම්මේලනය විසින් ආයෝජන මණ්ඩලය වෙත මෙම “හදිසි අභියාචනය ” ඉදිරිපත් කර තිබේ.

Facebook Comments

wedding people