මවුබිමේ මිහිදන් වීමේ අයිතිය ඉල්ලා මෙරට, පිටරට මුස්ලිම් විරෝධතා (VIDEO)

0

වසංගතයෙන් මියයන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට සිය මාතෘ භූමියේ මිහිදන් වීමට ඇති අයිතිය අහිමි කිරීම හෙලා දකිමින් රට තුලත්, ඉන් පිටතත් අඛණ්ඩ විරෝධතා දියත් වෙමින් පවතී.

රට තුල කෝවිඩ් දේහ සියල්ල පුළුස්සා දැමීමේ දැඩි ස්ථාවරයේ සිටින ජනාධිපතිවරයා මුස්ලිම් මළ සිරුරු වල දැමීම සඳහා මාලදිවයිනේ සුසාන භූමි සෙවීම තරුණයන් අන්තවාදයට තල්ලු කරනු ඇති බවට අධිකරණ අමාත්‍යවරයා බිය පල කරද්දී, අගනුවර ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල ජනතාව සාමකාමී උද්ඝෝෂණයේ නිරත වෙනු දකින්නට ලැබේ.

උතුරු නැගෙනහිර මුස්ලිම් ජන විරෝධතා වලට සැලකිය යුතු හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ගිහි, පැවිදි පිරිස් එක්ව සිටියේ ඇතැම් තැනෙක කෙරුණු පොලිස් බාධා වලටද මුහුණ දෙමිනි. උතුරේ උද්ඝෝෂණ වලට දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටිනු දක්නා ලදී.

ඔවුන් වීදියට බැස සිටියේ සති තුනක් වත් වයස නොපිරි ළදරුවකු වසංගතයෙන් මියගිය බවට තහවුරු නොවූ තීන්දුවක් දෙමින් පුළුස්සා දමන ලද බොරැල්ල ආදාහනාගාර ගේට්ටුවේ හා ගරාදි වැටේ ගැටගසන ලද සුදු සළු පොලිස් හා ඔත්තු සේවා භටයන් විසින් ඉරා දැමීමෙන් අනතුරුවය.

පොලිසිය විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ උද්ඝෝෂකයන්ගේ නම් ගම් ලියාගනු මෙන්ම “සුළුතර ආගමික අයිතියට ගරුකරනු” යනුවෙන් ලියා අක්කරෙයිපත්තුවේ ප්‍රදර්ශනය කර තිබූ බැනර් සහ බලෙන් පුළුස්සා දමනු ලැබූ ළදරු මොහොමඩ් ෂයික් ගේ පින්තූර ගලවා දමනු ද පළාත්බද මාධ්‍යවේදීන් විසින් වාර්තා කර තිබේ.

මුස්ලිම්වරුන් භූමදානයට මාලදිවයිනේ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ජනාධිපති කළ ඉල්ලීමට කන් නොදෙන ලෙස බලකරමින් මේ අතර මුස්ලිම් ඩයස්පෝරාව මාලදිවයින් රජයට බලකර සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමේ යටි අරමුණ වී ඇත්තේ දෙදහස් වසරක ලාංකික උරුමයක් ඇති මුස්ලිම්වරුන් මවුබිමේ විදේශිකයන් බවට පත් කිරීම යැයි බ්‍රිතාන්‍යය පදනම් කරගත් සංවිධාන මාලදිවයින් මහ කොමසාරිස් වෙත බාර දුන් ලිපියෙන් අනතුරු අඟවයි.

රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන මර්දනයක් තිබියදීත් රට තුල දේශපාලන විසඳුමක් සොයා ගැනීමට වීරිය දරන විට “ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මුස්ලිම් කෝවිඩ් 19 සිරුරු රට පැටවීමට ඉඩ දීමට කිසියම් විදේශීය රටක් මැදිහත් වීම අපේ දශක ගණනක් දිගු අරගලය අඩපන කිරීමක් සහ අපේ පැවැත්ම තවදුරටත් අනතුරේ හෙලන්නක් වෙයි,” යනුවෙන් සංවිධාන දහ අටක නායකත්වය විසින් අත්සන් කරන ලද ලිපියේ සඳහන් වෙයි.

කෝවිඩ් ආසාදිත මුස්ලිම් සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීමට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මීට ඉහතදී විරෝධතාවක්ද පැවැත්විණි.

Facebook Comments

wedding people