මහර වින්දිතයන්ගේ නීතිඥයන්ට නීතිපති දෙපාර්තමේන්තුවෙන් NGO ලේබල්

0

එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතක ප්‍රහාරයෙන් පීඩාවට පත් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගර්හාවට ලක් කොට තිබේ.

මරණ පරීක්ෂණ හමාර කළ හතර දෙනකුගේම ඝාතන සිදුවී ඇත්තේ වෙඩි තැබීමෙන් බව අද යළිත් වරක් අධිකරණය හමුවේ තහවුරු වී තිබෙන අතර වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගලගේ නියෝගය වී ඇත්තේ එම සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන ලෙසයි.

අගතියට පත් පිරිස් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයන් පෙනී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන වල උවමනාවට යැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න විවෘත අධිකරණයේදී චෝදනා නැගූ බවයි මානව හිමිකම් නීතිඥ සේනක පෙරේරා පවසන්නේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ එය අපරාධ වලට එරෙහිව හඬ නගන පුද්ගලයන් අධෛර්යයට පත් කිරීම සදහා ගන්නා ලද උත්සාහයක් ලෙස දකින බවයි.

රාජ්‍ය නොවන සංවිධාන ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසින් යුද හමුදාපතිවරයා විසින් හුවා දක්වා දින කීපයක් ගතවත්ම නීතිපති නියෝජිතවරියගේ චෝදනාව ප්‍රකාශයට පත්වීම නීතිඥවරුන්ගේ සැලකිල්ලට යොමුවී තිබේ.

“සාම්ප්‍රදායික සතුරන් පමණක් නොව, මත්ද්‍රව්‍ය කාටල්, බහුජාතික සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධාන ආදීන්ද ශ්‍රී ලංකාව මුහුණ දෙන ආරක්ෂක අභියෝග වෙයි,” යනුවෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්ෂක ජාතික හා ජාත්‍යන්තර නිලධාරි සමූහයක් අමතා ප්‍රකාශ කර තිබිණි.

මහර හිරගෙදර ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේ සේනක පෙරේරා, කේ.එස් රත්නවේල් , පාලිත බණ්ඩාරනායක, අචලා සෙනවිරත්න, චූලා අධිකාරී, තම්බයියා ජේ රත්නරාජා, නාමල් රාජපක්ෂ, ලුතීෆ් සයිනුල් යන නීතිඥයන්ය.

මෙම නීතිඥ මණ්ඩලයට අගතියට පත් පිරිස් වෙනුවෙන් පෙනී සිටිමට බලය පවරා දුන්නේ කවුද යන්නත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අධිකරණයේදී ප්‍රශ්න කර තිබේ.

තමන් වෙනුවෙන් පෙනී සිටිමට නීතිඥයන්ට අවසර දුන් බව මහර ප්‍රහාරයෙන් පීඩාවට පත් සිව් දෙනකු එම මොහොතේම අධිකරණය හමුවේ දැනුම් දී සිටි බව නීතිඥ සේනක පෙරේරා වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ.

මහර බන්ධනාගාරයේ ගැටුමේදී මියගිය රැඳවියන් එකොලොස් දෙනා අතරින් හතර දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා ඇතුළත් රහසිගත වාර්තාවක් ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කරන පංච පුද්ගල විශේෂඥ කමිටුව විසින් දෙසැම්බර් 16 බදාදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.

එම වාර්තාව මගින් අධිකරණයට දන්වා ඇත්තේ මිය ගිය රැඳවියන් අතරින් මේ දක්වා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබෙන සිව් දෙනාම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවයි.

එකොළොස් දෙනකුට මරු කැඳවූ මහර බන්ධනාගාරයේ සමූහ ඝාතනය වෙඩි තැබීම නිසා සිදුවූවක් බව රහස් පොලිස් පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් 9 බදාදා පළමු වතාවට අධිකරණය හමුවේ හෙළි කොට තිබුණි.

මියගිය සිරකාර මනුෂ්‍යයන්ගේ හිමිකම් වෙනුවෙන් උසාවියේත් ඉන් පිටතත් දිගටම මැදිහත් වීම් කළ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා විසින් දෙසැම්බර් 4 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා තිබුණේ මරා දැමුණු රැඳවියන්ගෙගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකොට පුලුස්සා දැමීමට ගන්නා උත්සාහය වළකන ලෙස යි.

එම මෝසම දෙසැම්බර් 16 බදාදා හමුවේ යළි කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම, මියගිය රැඳවියන්ගේ පාර්ශවයේ නීතිඥයන් ද අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ රැඳවියන් 4 දෙනාගේ දේහ නැවත වතාවක් අපරාධ විමර්ශන කටයුතු සදහා අවශ්‍ය විය හැකි බැවින් භූමදානය කරන ලෙසයි.

කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න ඊට විරෝධය පළ කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇය සඳහන් කර ඇත්තේ වෛරස් ආසාදිත අදාළ මළ සිරුරු භූමදානය කිරීම සමාජයට හානිකර විය හැකි බවයි.

විනිසුරුවරයා රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ට දන්වා ඇත්තේ එවැනි පරීක්ෂණ කටයුත්තක් යළි සිදු කිරීමට අවශ්‍ය උවහොත් ඒ සදහා අවශ්‍ය නියැදි මේ වන විටත් ලබා ගෙන ඇතැයි පංච පුද්ගල විශේෂඥ කමිටු වාර්තාවේ සදහන්ව ඇති බවයි.

ඒ අනුව දැනට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ මෘත දේහ 4 තවදුරටත් අපරාධ විමර්ශනය සඳහා රදවා තබා ගැනීම අවශ්‍ය නොවන බැවින් ඒවා රජයේ වියදමින් අද ආදාහනය කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කර තිබේ.

මෙම නඩුව ලබන 18 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Facebook Comments

wedding people