වසර 133 ක බ්‍රිතාන්‍ය පාලන සමයේ දී වත් මෙවැනි විනාශයක් බදුල්ල – මොණරාගලට සිදු වූවේ දැයි සැක සහිතය.
උඩරට කැරැල්ල දැවැන්තම විනාශය කළ නඟරය පාළුගම (කැප්පෙටිපොල) යි. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය දැන් සුද්දා විනාශ කළ ගානටම එළවළු, අල, පළතුරු ටික නැතුව විනාශ වී ඇත.
වැල්ලවායේ ඊයේ යූරියා මිටියක් රු. 24,000 කි.
බලංගොඩ – කල්තොට හරහා වැල්ලවායට ද, පඹහීන්නේ සිට බලහරුව, අතිමලේ දක්වා ද කුඹුරු (වෙල්ලස්සේ හදවත) බැලූ බැලූ අත කාබාසිනියා වී ඇත.
විදුලිය නිපදවන්නට (මහවැලි) ජලාශ ජලය මුදාහැර ජලාශ හීදී ඇත. මාර්තු කන්නයට රත්කිඳ, උල්හිටිය, මහියංගනය, මහවැලි කලාපයට වාරි ජලයක් ඉතුරුවන්නේ නැත.
වැසි ජලයෙන් වගා කරන රිදීමාලියද්ද, දඹාන දැනටමත් පන්සලකට දානය ටිකක් නොලැබෙන ගානට හාන්සිය.
බණ්ඩාරවෙල, හාලි ඇළ, බදුල්ල, පස්සර, වැලිමඩ, ඌව පරණගම තේ වතු ටික ගන්නට දෙයක් නැත. සුද්දාගේ කාළේ අතින් වල් නෙලූ යුගයටම ආපස්සට ගොසිනි. දළු කිලෝව රු. 95 කි. නිෂ්පාදන වියදම රු. 90 කි.
ලංකාවේ වැඩිම ගොවි ජනගහන ප්‍රතිශතයක් සහිත බදුල්ල දිස්ත්‍රික්කයේ, කෘෂි ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී ඇත.
නවීන කෘෂි ආර්ථිකය (හරිතාගාර, අපනයන කේන්ද්‍රීය පළතුරු, මල්, එළවළු වගාව) පොහොර – බෙහෙත් නැතිව වැනසී ඇත.
කට වචනය ‘සර්කියුලර්‘ ලෙස සලකා කෑලැ කැපූ අසරණයින්ට නඩුය. දේශපාලන හෙන්චයියන්ට කිසිදු හෙණයක් නැත.
උඩරට අභිමානය අර්තාපල්, කැරට්, බීට්,ලීක්ස්,ගෝවා, සලාද, වගාව විනාශය. (බීට් ඉන්දියාවෙන් හොරෙන් ගෙන්නයි.)
ගංජා නීතිගත කිරීම කෙසේ වෙතත්, හේන් ගොවියා හවස සුරුට්ටුවට හදාගන්න ගංජා පැලයත් ගලවාගෙන යන්නේය.
අමාරුවෙන් හදාගන්නා අලය, කොළය, මල්, දල්ල දිලීරයට, පණුවන්ට, කෘමීන්ට මිස මිනිසුන්ට ආහාරයක් වන්නේ නැත.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට රු. මිලියන 65 ක නිදහස් දින උත්සව සැමරුම් ප්රතිපාදනයක් වෙන්කර ඇත. සැබෑ වියදම එය මෙන් දෙගුණය ඉක්වන්නේය. ඒ ගුවන්හමුදාව, නාවික හමුදාව ණයට ගත් ඉන්ධන ඔවුන්ගේ අරමුදල්වලින් පුච්චා දැමිය යුතු නිසාය.
1505 පැමිණි පෘතුගීසි ද, 1656 පැමිණි ලන්දේසි ද, වෙල්ලස්සට අත දමා, අත පුළුස්සා ගත්තේය. ඔවුන්ගෙන් කලාපයට වෙළඳ වාසි සිදු වූ බවට ද අදහසක් ඇත. උඩරට කැරැල්ලේ වැඩිම විනාශය සිදු වූ බව කියන සියළු ගේ දොර ගිණි තබා අළු කළ, ජාන සංහාරයක් සිදු කළ කැප්පෙටිපොල මගේ අල්ලපු ගමයි.
අද අපේ ගම් බිම් අමන තකතීරු මරිමෝඩ තීරණ නිසා ආර්ථිකව ද, සංස්කෘතිකව ද කාබාසිනියා වී ඇත. අනාගත අපේක්ෂාවක් නැති තැනට පත්ව ඇත.
ඒ සියල්ලටම වඩා අද හරසුන්, දත්ත-ඉලක්කම්-සංඛ්‍යා වරද්ද වරද්ද කියන පම්පෝරි කතා අහන්නට වන දවසයි.
ලබන අවුරුද්දේ 75 වන නිදහස් සංවත්සරය වත් මෙසේ නොවේවා!
රජිත් කිර්ති තෙන්නකෝන්