වන්නියේ ආගමික ගැටුමකට තුඩුදෙන පුරාවිද්‍යා සංහාරයක් ගැන පැමිණිලි

0

පුරා විද්‍යා පනත උල්ලංඝණය කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ හින්දු පුදබිමක බෞද්ධ විහාරයක් ඉදිකරමින් ඒ අවට ඇති දෙමළ ජනයා සතු කුඹුරු ඉඩම් අත්පත් කර ගැනීමේ වෑයමක් ගැන චෝදනා එල්ල වී තිබේ.

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පනත යටතේ අළුත් ඉදිකිරීම් කරන්න බලතල නැහැ. එත් කුරුන්තූර්මලේ හින්දු බැතිමතුන්ට පැමිණීම වලක්වා ලහි ලහියේ ධාතු ගර්භයක් හදනවා. අපි මේ ගැන අධිකරණයට කරුණු දක්වනවා,“යැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

උතුරේ ජනයා විසින් හින්දු පුද බිමක් ලෙස සලකන කුරුන්තූර්මලේ ප්‍රදේශයේ නිදහස් දිනයේ අධීක්ෂණ චාරිකාවක නිරතවූ සුමන්තිරන් සහ රාසමනික්කම් ශානක්‍යන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ක්‍රියාධරයන් පිරිසට නිරීක්ෂණය වී ඇත්තේ එහි අලුතින් බෞද්ධ ඉදිකිරීම් කර ඇති බවකි.

කුරුන්ද මලේ පුද බිම හින්දු භක්තිකයන්ගේ පැමිණීම වළක්වමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තු ගෙන ගිය ක්‍රියාවට එරෙහිව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන චාර්ල්ස් නිර්මලනාදන්, සිවඥානම් ශ්‍රීකාන්තන් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.රවීකරන් විසින් මහාධිකරණයේ නඩු පවරා තිබේ.

“ආණ්ඩුව කියනවා හින්දුන්ට මෙහි ඇවිත් වැඳ පුදා ගන්න පුළුවන් කියලා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් දිවුරුම් පෙත්සමක් උසාවියට ඉදිරිපත් කරලා තිබුණා ඒ ගැන කියලා. අද අපිට බාධාවක් නොකළාට පුරාවිද්‍යා බිමේ අලුත් ඉදිකිරීම් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිතියක් නැහැ,“යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් පවසයි.

එහි පිහිටා තිබු හින්දු ආගමික ප්‍රතිමා කඩා බිඳ දැමීම ගැන උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.රවිකරන් විසින් මීට වසරකට පෙර පොලිසිය වෙත පැමිණිලි කළ ද මේ වනතෙක් කිසිදු විමර්ශනයක් කර නොමැත. සුමන්තිරන් කියා සිටියේ දේව පිළිම යළි ස්ථාපිත කරන තෙක් කුරුන්ද මලේ ගැන අතුරු තහනමක් ඉල්ලා සිටිය ද තවමත් එය ලබා දී නොමැති බවයි.

“ කුරුන්තූර්මලේ අවට කුඹුරු ඉඩම් අක්කර 436 ක දෙමළ ගොවීන් පරම්පරා ගානක් තිස්සේ වගා කරනවා. බෞද්ධ විහාරේ සම්පත් කියලා ඒ ඉඩම් පවරා ගන්න හදනවා. මේක ඉතාමත් අසාධාරණ වැඩක්. මීට ඉඩ දිය යුතු නැහැ. නීතියෙන් බැරි නම් ජනතා උද්ඝෝෂණයකින් හරි අපි මේක නවත්වනවා,“යි ඔහු සඳහන් කරයි.

Facebook Comments

wedding people