ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහල සහ රාජද්‍රෝහී ක්‍රියා සිදුකළ බවට චෝදනා කරමින් දැනට වසර 109කට පෙර මරණ දඬුවමට ලක් කරන ලද ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් හට රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමාව ප්‍රධානය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ)ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (12)නිකුත් කෙරිණි.
“දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට මරණින් පසු ජනාධිපති සමාව පිරිනමන බව මෙයින් ප්‍රකාශයට පත් කරමි.” යැයි ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කපිතාන් හෙන්ද්රිස් පේද්‍රිස් මරණ දඬුවමට ලක් කළේ ඇයි?
කපිතාන්වරයෙක් ලෙස හෙන්රි පේද්‍රිස් කොළඹ නගර ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී 1915 වසරේ මැයි මාසයේ දී මෙරට සිංහල සහ මුස්ලිම් ජාතින් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් ගැටුමක් බවට පත්විය.
එම ගැටුම් පාලනය කිරිමට කපිතාන් හෙන්රි පේද්‍රිස් කටයුතු කිරීම එවක සිටි ඉංග්‍රිසි පාලකයින් දැඩි කණස්සල්ලට හේතු වී ඇති අතර ඒ අනුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කොට නඩු විභාගයක් සිදුකොට ඔහුට එරෙහිව මරණ දඬුවම නියම කරනු ලැබුවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවෙක් බවට නම් කරමිනි.
1915 ජුලි මස 07 වැනිදා එවකට 27 හැවිරිදි වියේ පසුවූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් යුද අධිකරණයක් හමුවට පමුණුවා කිසිදු අභියාචනාවක් නොසලකා මරණ දඬුවමට ලක්කර තිබිණි.
ඝාතනය කෙරුණු හෙන්රි පේද්‍රිස්ගේ දේහය යුද නීතිය යටතේ වරදකරුවකු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්රයක ආදාහනය කර තිබේ.
වසර 108කට පසු විමර්ශනයක්
මෙම සිදුවීම සම්බන්ධයෙන් වසර 108කට පසුව ඒ පිළිබඳව විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා ජනපති ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කැබිනට් අනුමැතිය හිමි විය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න ගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් ඒ සඳහා පත් කරනු ලැබීය.