ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මොහොතින් මොහොත ලඟා වෙද්දී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශාලතම දෙමළ දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි තුළ පවතින දැඩි අභ්‍යන්තර වෙනස්කම් වඩාත් පැහැදිලිව මතු වෙමින් තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) හි ප්‍රතිපත්ති සම්පාදනය කරන නායකත්වය වන එහි මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වූ හමුවකදී පසුගියදා තීරණය කර තිබුණේ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහය දැක්වීමටයි.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, විපක්ෂ නායක ප්‍රේමදාසට සහය දැක්වීමේ තීරණයට එළඹුණේ “බෙදීමකින් තොරව” බව පැවසු නමුත් , එම දිස්ත්‍රික්කයම නියෝජනය කරන පක්ෂයේ නායකත්වයට ඡන්දයෙන් පත් වූ සිවඥානම් ශ්‍රීධරන් දෙමළ පොදු අපේක්ෂකයාට පක්ෂව දැඩි ලෙස අදහස් පළ කර ඇත.
ඉන් අනතුරුව පක්ෂ සභාපති මාවෙයි සේනාධිරාජා ජනාධිපති අපේක්ෂකයකු වන රනිල් වික්‍රමසිංහට පවසා ඇත්තේ ඔහු ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ දී හමුවීමෙන් පසුව මාවෙයි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එම හමුවීම හැඳින්වූයේ ‘ආචාරශීලී බව පෙන්වන හමුවක්’ ලෙසයි.
“මාව මුණගැසීමට ඔහු නිවසටම පැමිණියා. මා ඔහුව මුණගැසීමට එකඟ වූයේ ඔහු ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙක් වන බැවින්. මා ඔහුට පැවැසූවේ ඡන්දය අවසානයේදී ඔබ ජයග්‍රහණය කළ යුතු බවයි. මාස තුනක කාලයක් තුළදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකරමින් ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔබ ෆෙඩරල් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බව මා විශ්වාස කරනවා, සහ බලපොරොත්තු තබා ගන්නවා, යි පැවසුවා.“
තවදුරටත් අදහස් දක්වමින් මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ ඔහු හෝ ජනාධිපතිවරයා ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව විසින් ප්‍රේමදාසට සහය පළකිරීමට ගත් තීරණය පිලිබඳව සාකච්ඡා නොකළ බවයි.
ඔහු පවසන අන්දමට, උතුරේ සහ නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වා ඇත.
“ඔහු වැඩිපුරම කතා කළේ අපේ පළාත්වල ආර්ථික සංවර්ධන සැලසුම් ගැනයි. මැතිවරණය අවසන්වීමෙන් පසුව, සහ අප බලාපොරොත්තු වන පරිදි ඔහු ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව, ඔහුව පිළිගැනීම ගැටළුවක් නොවන බවට මම පිළිතුරු දුන්නා. අපේ ප්‍රාර්ථනය සහ අපේක්ෂාව වන්නේ ෆෙඩරල් ජනාධිපතිවරයා ලෙස ඔබ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකිරීමත්, මාස තුනක කාලයක් ඇතුළත ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සොයා ගැනීමත්….”
ඒ හා සමගම වාගේ එම අදහස බැහැර කරන ප්‍රකාශයක් ITAK ලිපි ශීර්ෂයක් යොදාගෙන ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩ බලන මහලේකම් වෙද්‍ය පී සත්යලිංගම්ගේ අත්සනින් සැප්තැම්බර් 12 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුනේ 2024 ජනාධිපති වරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට පක්ෂය ගත් තීන්දුවේ වෙනසක් නොමැති බවයි.
ITAK මධ්‍යම කාරක සභාව ප්‍රේමදාසට සහය පළ කිරීමට තීරණය කළ දිනයේ සේනාධිරාජා පවසා තිබුනේ එය කිහිප දෙනකුගේ තීරණයක් බවත්, පක්ෂයේ ‘නිළ තීරණය’ නොවන බවත් ය.
එම අතිශය වැදගත්රැස්වීම පැවැත්වූයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිගේ මූලිකත්වයෙනි.
මාවෙයි අසනීපයෙන් පසුවන හෙයින් මධ්‍යම කාරක සභාවට සහභාගීවීමට නොහැකි බව දන්වා තිබූ බැවින් සභාවේ මුලසුන හෙබවූ උතුරු පළාත් සභාපති සී.වී.කේ. සිවඥානම් මාධ්‍යවේදීන්ට පැවැසූවේ ජනාධිපතිවරණයේදී ප්‍රේමදාසට සහය පළකිරීමට බහුතරයකගේ කැමැත්ත ඇතිව යෝජනාවක් සම්මත වූ බවයි.
මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන අතරතුරදී පක්ෂ නායක ලෙස ඡන්දයෙන් පත්වූ ශ්‍රීධරන් ලන්ඩන් බලා ගොස් සිටියේ දෙමළ පක්ෂ කීපයක සහාය ලබන උතුරේ ස්වාධීන අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් වෙනුවෙන් සහයෝගය ලබාගැනීමට යි. එම ගමනට පෙරාතුව ඔහුගේ මතය පැහැදිලි ලෙස ප්‍රකාශ කොට තිබූ අතර, පක්ෂයේ ප්‍රධාන ලේකම් වෙත යොමු කළ ලිපිය හරහා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳව ඔහුගේ මතය පැහැදිලි කර තිබිණි.
“අපගේ දිවංගත නායක ආර්. සම්බන්ධන් දිගින් දිගටම පෙන්වා දුන් පරිදිම මම මගේ මතය නැවතත් අවධාරණය කරනවා. අපට පුළුවන් දකුණේ අපේක්ෂකයකුට සහයෝගය දීම ගැන සිතා බලන්න. නමුත්, එසේ කරන්නේ ඒකාබද්ධ කළ උතුරක් සහ නැගෙනහිරක් තහවුරු කරන ‘ඔස්ලෝ ප්රකාශනය’ ට ඔවුන් එකඟවනවා නම් සහ ‘ඒකීය රාජ්‍යයක්’ යටතේ නොව ෆෙඩරල් ක්‍රමයක් තුළ ‘ස්වයංනිර්ණ අයිතිය’ ලබාදෙන බවට පොරොන්දුවනවා නම් පමණයි. සිංහල අපේක්ෂකයන් විසින් එවැනි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ නැත්නම්, දෙමළ පොදු අපේක්ෂයකුට සහයෝගය ලබාදීම පිළිබඳව අප සලකා බැලිය යුතුයි. මීට පෙර පැවැත්වූ රැස්වීම්වලදී පැවසූ පරිදි, දෙමළ පොදු අපේක්ෂකයා වෙනුවෙන් මගේ සහයෝගය නැවතත් තහවුරු කරනවා.”
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය ශාඛා දෙමළ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බව පවසන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන ප්‍රධාන පුද්ගලයෙකු වන නිලන්තන් විසිනුයි.
“දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේ දෙමළ ඡන්ද එක්රැස් කරගෙන ඒ හරහා ශක්තිමත් පණිවිඩයක් යැවීම මිසක්, කළ නොහැකි දෙයක් බව අප දන්නා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම නොවේ.”
උතුරේ මාධ්‍ය ආයතන නියෝජනය කරන තෝරාගත් දෙමළ සංස්කාරකවරුන් සමග යාපනයේ දී පැවැත්වුණු නිල නොවන සාකච්ඡාවක් අතරතුරදී බලය බෙදීමේ ක්‍රියාවලියේ පදනම සකසන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන බව ප්‍රේමදාස සහතික වී ඇතැයි දෙමළ මාධ්‍ය වාර්තා කරයි.
එයට ‘පොලිස් සහ ඉඩම් බලතල ඇතුලත්ද’ යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රේමදාස පවසා ඇත්තේ ‘එය සංශෝධනය තුළ ඇති බවයි.’
ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් විසින් වව්නියාවේ රැස්වීමෙන් පසු තහවුරු කළ පරිදි, පක්ෂය නිල වශයෙන් ප්‍රේමදාසට සහයෝගය දක්වයි. කෙසේ නමුත්, තවත් අපේක්ෂකයකු වන අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඔහු පෙනී සිට ඇත්තේ, ජාතික ජන බලවේගයේ නායකයා ස්වෝත්තමවාදී ප්‍රකාශ සිදුකර නොමැති බව පවසමින් සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගන්නා බවට පොරොන්දු වෙමිනුයි.
සජිත් ප්‍රේමදාසට සහාය දීමට ITAK මධ්‍යම කාරක සභාව තීන්දු කළ දිනට පසුදා උතුරට ගිය ජාතික ජන බලවේගයේ නායකයා දෙමළ ඡන්ද දායකයන්ට කියා සිටියේ දකුණේ ඡන්දදායකයා ගේ මනෝභාවයට හරස්ව යන ලෙස ඡන්දය නොදෙන ලෙසයි.
තමන් සහයෝගය ලබාදෙන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තුළ තියුණු මතවාදී වෙනස්කමක් පවතින අතර, උතුර සහ නැගෙනහිර නියෝජනය කරන අනෙක් ප්‍රධාන දෙමළ පක්ෂය වන දෙමළ ජාතික ජනතා පෙරමුණ මෙම මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා ඇත. ඒ, මැතිවරණ ව්‍යාපාරවලදී දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටලුව විසඳන බවට සහතික වූ නමුත්, මින් පෙර ඒ වෙනුවෙන් කිසිවක් නොකළ සිංහල ජනාධිපතිවරුන් කෙරෙහි විශ්වාසය නැති වී ගොස් ඇති බව පවසමිනි.