පොරොන්දු වු දේශපාලන කාන්තා නියෝජනය ලබා දෙන්න

0

පසුගිය වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ දී පොරොන්දු වූ ‍දේශපාලනයේ 25% ක කාන්තා නියෝජනයක් ලබාදීමේ පොරොන්දුව සියලුම පාර්ශව විසින් මේ වන විට අමතක කර දමා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය හා කැෆේ සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කරමින් සියලුම කාන්තා සංවිධාන සහ සිවිල් සංවිධාන වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය පහතින් දැක්වෙයි,

මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධානය

2017 මාර්තු 03

ශ්‍රී ලංකාවේ සියලුම කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන, ක්‍රියාකාරි කාන්තා ප්‍රජාව , මහජන නියෝජිතයින්, පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂිත සහ බලගැන්වූ නියෝජිතවරියන් හා කාන්තාවන් , ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අගයන පිරිස් වෙත.

25% කාන්තා නියෝජනය කප්පාදු කරන යෝජනාව පරදවමු!
පළාත් පාලනයේ කාන්තා නියෝජනය තහවුරු කරනු!!

2016 ජගත් කාන්තා දිනයේ ආනන්දීය ජයග්‍රහණය වූ 25% කාන්තා නියෝජනය ආපසු හරවමින් 2017 ජගත් කාන්තා දිනය සමරන්නට හදන රටක මානව හිමිකම් සංවිධාන, කාන්තා සංවිධාන ලෙස අපට ඉතිහාසයේ හිමිවන්නේ කුණු කුඩය පමණ ද?

පළාත් පාලන ආයතන සදහා 25% ක කාන්තා නියෝජනයක් තහවුරු කිරීම 2016 ජගත් කාන්තා දිනයේ දී ඔබ ද, අප ද කර තබාගෙන උද්යෝගයෙන් ද, අභිමානයෙන් ද කථා කළ, ජය පැන් බිව් ජයග්‍රහණය විය. 25% කාන්තාවන් සහිත පලාත් පාලන ක්‍රමය පාර්ලිමේන්තුව දක්වා ගෙන ඒමට කැපවීමට සපථ වූවෙමු. සැමරුම් කළෙමු. සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වූවෙමු. බලාපොරොත්තු වැපිරවීමු.

නමුත්, මෙවර 2017 ජගත් කාන්තා දිනය අප සමරන්නේ මේ සියල්ල අනෙක් කණපිට හැරෙමින් ඇති පරිසරයක ය. අපගේ ජයග්‍රහණය ආපසු හරවන්නට වෙර දරණ සමාජයකය. මේ රටේ දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රධාන තර්කය 25% කාන්තා නියෝජනය තුලින් පළාත් පාලන මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඉහළ යන නිසා මේ මැතිවරණ ක්‍රමයට ජනතා විරෝධය එල්ල වනු ඇති බවයි. මොවුන් අදබාලයන් පිරිසකි. දේශපාලන අවස්ථාවාදීන් පිරිසකි.

මෙම යෝජනාව ඉදිරිපත් වන විට 25% ක නියෝජනයක් අතිරේක ලැයිස්තුවකින් කාන්තාවන්ට ලබාදීමෙන් පලාත් පාලන ආයතනයන් හි නියෝජිත සංඛ්‍යාව ඉහළ යන බව මේ අවස්ථාවාදීන් නොදැන සිටියේ ද? පුදුමයට මෙන් දැන් නැවත පැරණි ක්‍රමයට 5% ක කාන්තා නියෝජනයක් හෝ නොලැබෙන පළාත් පාලන ක්‍රමයට නැවත යාමට උත්සහ දරමින් සිටිනේ පසුගිය වසරේ 25% වෙනුවෙන් කථා පැවැත්වූ, සාද පැවැත්වූ, වැඩමුළු පැවැත්වූ අවස්ථාවාදී දේශපාලනඥයින්මය.

ඔවුන් මෙවර කාන්තා දිනයට පෙළපාලි යන්නේ නැත. කාන්තාවන් හමුවට එන්නේ ද නැත. ඒ වෙනුවට ඡන්ද එපා! ඡන්ද එපා!! 25% එපා!!! යැයි නිවේදන නිකුත් කරමින් සිටී.

පලාත් පාලන කාන්තා නියෝජනය සදහා වූ අරගලය සවිමත් වූවේ දශක දෙකකට වැඩි කලක් දිගු වූ ඉල්ලීමක ප්‍රතිඑලයක් ලෙසිනි. අප ඉල්ලා සිටියේ පලාත් සභාව සහ පාර්ලිමේන්තුවට ද කෝටා ක්‍රමයකි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් වුවේ ද ඒ අනුවය. එදා 20 වන සංශෝධය පරාජය කිරීමට කැපවූ පාර්ලිමේන්තුව නියෝජනය කරන බංකොලොත් දේශපාලන පක්ෂ කිහිපයක් අද පලාත් පාලන ඡන්ද විමසීමට පවා 25% ලබාදීමට එරෙහිවී සිටී. අප තවදුරටත් මෙම තත්වය ඉවසා සිටිය යුතු නැත.

මෙවර ජගත් කාන්තා දිනයේ අරමුණ විය යුත්තේ අප දිනාගත් 25% ක්‍රමය යටතේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීමය. එසේ නොමැතිව අප දිනාගත් ජයග්‍රහනයන් බංකොලොත් දේශපාලනඥයින්ගේ පාමුල දිය කර හැරීමට නොවේ.

Global Gender Gap Index 2016 අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය අනුව ලෝකයේ හිමි වූ ස්ථානය 100 ය වේ. 2006 වසරේ දී අප සිටියේ ලෝකයේ 13 වන ස්ථානයේ ය. ලෝක දේශපාලනයේ අඩුම කාන්තා නියෝජනයක් සහිත රාජ්‍යයන් අතරින් එකක් වන්නේ ලංකාවයි. නිදහස් මැතිවරණයකින් කාන්තා නියෝජනය තහවුරු කර ගැනීම කාන්තා අයිතීන් අතුරින් ප්‍රමුඛ වේ. අද පලාත් පාලන මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට යෝජනා කරන බංකොළොත් දේශපාලනඥයින් උත්සහ දරන්නේ ලංකාව සෞදි අරාබියටත් අන්ත තත්වයකට පත් කිරීමය.

2017 ජගත් කාන්තා දිනය වෙනුවෙන් ලංකාවේ තේමාව ‘පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% ඉලක්කය ජයගනිමු’ යන්න බව මැතිවරණ කල් දැමීමට උත්සහ දරණ කණ්ඩායම්වලට අමතකව ඇති සෙයකි.

පළාත් පාලන මැතිවරණයේ 25% කාන්තා නියෝජනය තහවුරු කරනු! බොරු උප්පරවැට්ටි නොදමා ඡන්දය පවත්වනු!!

ස්තූතියි
මීට

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ

Facebook Comments

wedding people