“මේ රටේ මුසල්මානුවකු ලෙස, සැබෑ මරණයට මුහුණ දීමට වඩා මරණයෙන් පසු සිදු කරන (කොරෝනා හේතුවෙන්) ආදාහනය කිරීමට මම බිය වෙමි”.

0

පසුගිය නොවැම්බර් පළමු වැනිදා,එනම් ශ්‍රී ලංකාව තුළ COVID-19 ආසාදනය වීම හේතුවෙන් වාර්තා වූ අවසන් මරණ තුනම මුස්ලිම් ජාතිකයින්ගේ බව නිවේදනය කොට ඔවුන්ගේ මෘත දේහ ආදාහනය කළ බව දැකීමෙන් දිනකට පසුව යාමින් අහමඩ් විසින් ඉහත ටුවිටර් පණිවිඩය නිකුත් කොට තිබුණේය. පොදු මහජන සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යැයි පවසමින් මුස්ලිම්වරුන්ගේ විශ්වාසය අනුව මෘත ශරීර බැහැර කිරීමට තහනම් කර ඇති ආකාරයට; එනම් සිරුරු ආදාහනය කිරීමට මෙරට දී කටයුතු කළ පළමු අවස්ථාව හෝ අවසන් අවස්ථාව මෙය නොවනු ඇත.

ඉස්ලාමීය විශ්වාසයන්ට අනුව ආදාහනය කිරීම තහනම් කර තිබේ ; ‘මිනිස් සිරුරේ අභිමානය’ උල්ලංඝණය කිරීමක් ලෙස එය සලකනු ලබයි.අනෙකුත් ආගම් විසින් භූමදානය කිරීමටද කැමැත්ත පළකොට තිබෙතත්, විශ්වාසයේ ඉගැන්වීම් සමඟ ආදාහනය කිරීම සෘජු ගැටුමක් ඇති කරවන එකම ආගම ඉස්ලාමයයි. ශෝකයට පත් පවුලේ සාමාජිකයන් තම ආදරණීයයන් මරණින් මතු ජීවිතයට යෑම දකිනා ආකාරයද මෙමඟින් වෙනස් වීමකට භාජනය කරයි.

මාර්තු 30 වන දින, මීගමුවේ පෝරුතොට පදිංචිව සිටි වයෝවෘද්ධ මුස්ලිම් පියෙකු, ඔහුගේ පුතා විසින් රෝහල් ගත කරනු ලැබීය. පැය කිහිපයකට පසු, ඔහුගේ පියා COVID-19 හේතුවෙන් මිය ගොස් ඇති බවට මාධ්‍ය මඟින් දුටු බව ඔහුගේ අසල්වැසියන් විසින් ඔහුට අසා දැනගන්නට ලැබේ. මේ සම්බන්ධව තහවුරු කරගැනීමට තමන් රෝහල වෙත සම්බන්ධ වීමට උත්සාහ ගන්නා තෙක්ම ඔහු වෙත රෝහලෙන් කිසිදු දුරකථන ඇමතුමක් නොලැබුණ බව ඔහු තරයේම කියා සිටියි. ඔහුගේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පවතින අතර තුරම පැය හතරක කාලයක් ඇතුළතදී භූමදානය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව ඔහු වෙත දන්වා තිබේ. ඒ අනුව භූමදානය සඳහා සොහොනක් ඔවුන්ගේ පල්ලිය විසින් සකස් කොට තිබේ. එහෙත් ඔහුට මධ්‍යම රාත්‍රියේදී ලැබුණු ඊළඟ ඇමතුමෙන් පවසා තිබුණේ ඔහුගේ පියාගේ දේහය ආදාහනය කොට ඇති බවය. සිදුවීම් විස්තර කරමින් ඔහු නීතිඥයෙකු වෙත “පත්තාවාච්චිටංග” යන වචනය භාවිතා කළ අතර,දමිළ භාෂාවෙන් එයින් ඇඟවෙන්නේ ඔහුගේ සිරුරට දැනටමත් ගිනි තබා ඇති බවයි.

COVID-19 හේතුවෙන් මෙම පියා මිය ගියාද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ දක්වාම පවුලේ සමාජිකයින්ට ඔහුගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ලැබී නැත. ඔහුගේ මරණ සහතිකයේ නියුමෝනියාව සහ කොරෝනා වයිරසය මරණයට හේතු ලෙස දක්වා ඇත. කෙසේ වෙතත්, මිය ගිය පියාගේ පවුලේ සාමාජිකයින් සහ අවසන් දවස් කීපය තුළදී ඔහු ළඟින් ඇසුරු කළ හා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය ද , මාස ගණනක් පුරා නිරෝධායන මධ්‍යස්ථානවල වෙත යවා තිබුණද ඒ කිසිවෙකුටත් වෛරසය අසාධානය වී නැති බව(නෙගටිව්) නැවත නැවත පරීක්ෂණ ඔස්සේ තහවුරුව ඇත.

මාර්තු 30 වන දින දක්වාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් පිටුවෙහි COVID-19 වින්දිතයින් සඳහා සෞඛ්‍ය ආරක්‍ෂිත විකල්පයක් ලෙස භූමදානය කිරීම ලැයිස්තුගත කර තිබුණි. අද දක්වාම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) COVID-19 ආසාදිත මළ සිරුරු භූමදානය ශක්‍ය විකල්පයක් ලෙස ලැයිස්තුගත කර තිබේ.

කෙසේවෙතත් මාර්තු 31 වන දින, එනම් මීගමුවේදී මියගිය පුද්ගලයා ආදාහනය කළ දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 සැක සහිත සහ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ ප්‍රතිපාදන සහිත සායනික පුහුණු මාර්ගෝපදේශනය සංශෝධනය කරන ලද අතර එමඟින් සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය බවට පත් කරන ලදී. ඉන්පසු අප්‍රේල් 11 වනදා සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් COVID-19 හෝ COVID-19 ආසාධිත බවට සැක කෙරෙන වින්දිතයින් සඳහා ආදාහනය අනිවාර්ය කරන ගැසට් පත්‍රයක් නිකුත් කළාය.

EconomyNext වෙත ලිපියක් ලියා තිබු ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් සරූර් එහි සඳහන් කොට තිබුණේ ‘පෙර තිබු මාර්ගෝපදේශ එක රැයකින් ඉවත් කිරීමෙන් ඇඟවෙන්නේ 30 වන දින සිදු කරන ලද වරද සාධාරණීකරණය කිරීම සඳහා එය කළ එකක් බව පැහැදිලි වන බවය’ . එතැන් පටන් COVID 19 හේතුවෙන් ආදරණීයයන් අහිමි වූ මුස්ලිම් පවුල් මාධ්‍යය වෙත අදහස් පළ කරමින් කියා තිබුණේ ආදාහනය කිරීමට තමන් එකඟ වන බව සඳහන් කරමින් පෝරමයකට අත්සන් කරන ලෙස තමන්ට බලපෑම් කළ බවත්, සිදුවිය හැකි විපාක පිළිබඳ බියෙන් තමන් විසින් එය කළ බවත්ය. එසේම COVID 19 හැර වෙනත් හේතූන් මත මියගිය මුස්ලිම්වරුන් ද ඔවුන්ගේ පවුල්වල කැමැත්තට හා අභිමතයට පිටින් ආදාහනය කරන ලද තවත් අවස්ථා ඇති අතර, එයින් දෙකක් මාධ්‍යවල වාර්තා කොට තිබුණි. මෙම අවස්ථා වලදී ද එක්කෝ PCR පරීක්ෂණ වාර්තාව එම පවුල් වෙත ලබාදී නැත; එසේත් නැත්නම් පසුව COVID 19 වෛරසය ඔවුන්ට ආසාධනය වී නැති බව (නෙගටිව්) පවුල් වෙත දන්වා තිබේ.

භූමදානය හේතුවෙන් භූමියේ පානීය ජලය අපවිත්‍ර විය හැකි බවත්, ඒ අනුව විශේෂඥන්ගේ වෛද්‍ය උපදෙස් අනුව යමින් COVID-19 වින්දිතයින් සඳහා ආදාහනය කිරීම අනිවාර්ය කළ බව රජයේ ප්‍රධාන වසංගත රෝග ව්ද්‍යාඥ වෛද්‍ය සුගත් සමරවීර මාධ්‍යයට පවසා තිබේ. කෙසේ වෙතත්, ආදාහනයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අතර, සුවිශේෂී විද්‍යාත්මක දැනුමක් උපුටමින් එසේ නොවන බව පෙන්වා දී තිබේ.

SARS-CoV-2 වෛරසයේ පැවැත්ම පිළිබඳ අධ්‍යයනයන් නොමැති හෙයින්, උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව, වෛරස් විද්‍යාව සහ සත්කාරක-රෝගකාරක අන්තර්ක්‍රියා පිළිබඳ මහාචාර්ය මැතිව් කොසි, 2020 මැයි මාසයේදී ප්‍රකාශයක් ලබා දෙමින් කියා තිබුණේ කොරෝනා වෛරසය ඒවියන් ඉන්ෆ්ලුවන්සා (කුරුළු උණ) වෛරසයට සමාන ආවරණයක් සහිත වෛරසයක් බවය. ඒවියන් ඉන්ෆ්ලුවන්සා (කුරුළු උණ) වෛරසය කුකුල් මස් මතුපිට හැසිරෙන ආකාරය සම්බන්ධව කළ අධ්‍යනයකදී කුකුල් මස් කාමර උෂ්ණත්වයේ තැබූ විට දින 15 ක් තුළදී වෛරසයෙන් 90% ක් අක්‍රිය වී ඇති බවත් කුකුල් මස් ශීතකරණයේ

(4 °C / 40° F) උෂ්ණත්වය මත තබාගෙන සිටියේ නම්, වෛරසය 4.5 ගුණයකින් දිගු වන බවත් එනම් එය මාස දෙකකට වඩා වැඩි වන බවත් ඔහු පවසා තිබේ.

භූගත ජලයට වෛරසය බලපාන ආකාරය සම්බන්ධයෙන් පාරිසරික විද්‍යා මහාචාර්යවරයෙකුගෙන් අප කළ පුද්ගලික විමසීමකදී හෙතෙම පැහැදිලි කළේ වෛරස් බර නොගැඹුරු ජල වගුවේ තනුක වීමට ඉඩ ඇති බවත්, පසුව ඇති වන මෝසම් වැසි හේතුවෙන් එය තවදුරටත් අඩු වන බවත් ය. භූගත ජලය කිසි විටෙකත් කෙලින්ම පරිභෝජනය නොකරන අතර එය පානය කරනු ලබන්නේ ක්ලෝරීන්කරණයෙන් පසුව පමණක් වන අතර එමඟින් ඉතිරිව ඇති වෛරස් අංශු විනාශ වනු ලබන බවත්ය.

රෝග සම්ප්‍රේෂණය සඳහා මළ සිරුරු සම්බන්ධ අවදානම තුන් ආකාරයකින් සිදු විය හැකි බවත්,ඒ සෑම අවදානමක්ම කොරෝනා වෛරසයට සම්බන්ධ විය හැක්කේ කෙසේද යන්නත් මහාචාර්යවරයා තවදුරටත් විස්තර කළේය.

පළමුවෙන්ම, ඉහත ප්‍රකාශයේ විස්තර කර ඇති පරිදි, මළ සිරුරකින් ආසාදිත කාරකය – SARS-CoV-2 වෛරසය ආසාදනය වීමට අසමත් වේ.

දෙවනුව, භූගත ජලය කිසි විටෙකත් කෙලින්ම පරිභෝජනය නොකරන බැවින් එම බෝවන කාරකයට නිරාවරණය වීම සිදු නොවේ. එය ජල පවිත්‍රාගාරවල පවිත්‍ර කරනු ලබන අතර අපවිත්‍ර වීමක් සිදුවී ඇත්නම් එය හා එම ජලය පරිභෝජනය සිදුවිය හැකි කාල පරාසය(කාල සීමාව)ඉතා දිගුය.මීට අමතරව,ජල කඳන් විශාල හෙයින් කොරොනා වෛරසය නොවන දිගුකාලීන වෛරසයක් වුවද අතිශය පහත් මට්ටමකට තනුක කරනු ලැබීමක් කරනු ලබයි.

අවසාන වශයෙන්, කොරෝනා වෛරසය ආසාදනය සිදුවන්නේ ආහාර හෝ ජල පරිභෝජනයෙන් නොවන බැවින් ආසාදිත අවදානමට ලක්විය හැකි ධාරකයකට ඇතුල් වීමේ අවදානම ද ඉවත් කරනු ලැබේ . එය මූලික වශයෙන් ආසාදනය වන්නේ නාසයෙන් සහ ආශ්වාස කිරීමෙනි.

ශ්‍රී ලංකාවට වඩා ඉහළ මරණ අනුපාතයක් ඇති රටවල් පවා COVID 19 හේතුවෙන් මියගිය අය භූමදානය කිරීම දිගටම කරගෙන යමින් තිබේ. ශ්‍රී ලංකාවට වඩා කුඩා භූමි ප්‍රමාණයක් සහ මුහුදු මට්ටම අඩු වීම නිසා භූගත ජලයට වැඩි තර්ජනයක් ඇති මාලදිවයින පවා COVID හේතුවෙන් මියගිය අය භූමදාන කිරීම කරන රටවල් අතර වේ. අන්තර්ජාතික මාධ්‍ය වාර්තාවන්ට අනුව භූමදානය සඳහා සිරුරු මව් රටවල් වෙත විදේශ රටවල සිට රැගෙන යාමට නොහැකි අවස්ථා වලදී COVID මරණ ආදාහනය කිරීම සිදු කරනු ලැබීම එක අවස්ථාවකි.

එය එසේ වීම හේතුවෙන් ගල්ෆ් රටවල වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 70 කට ආසන්න සංඛ්‍යාවක් මෙම රෝගයට ගොදුරු වී මරණයට පත්විය. රට තුළදී සිදුව ඇති COVID මරණ සඳහා ආදාහනය අනිවාර්ය කර ඇති එකම රට ශ්‍රී ලංකාව බව පෙනේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා සඳහන් කරන්නේ භූමදානය කිරීම හේතු කොටගෙන ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා කිසිදු නියාමාකාර පිළිවෙතක් උල්ලංඝණය කිරීමක් සිදු නොකරෙන බැවින් මුස්ලිම් ප්‍රජාවේ ආගමික හැඟීම් ‘මනුෂ්‍යත්වය හා අන්‍යෝන්‍ය ගෞරවයෙන් පිළිගත යුතු’ බවය. අනිවාර්ය ආදාහනයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අයගෙන් එක් අයෙකු වූ මවුලානා පවසන්නේ ලොව පුරා ක්‍රියාත්මක වන ක්‍රමවේදයන්ට ව්‍යතිරේකයක් පවත්වා ගෙන යන ශ්‍රී ලංකා සෞඛ්‍ය රෙගුලාසි පැටලිලි සහගතව පවතින බවයි.

මෑත කාලීනව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සමාජ හා දේශපාලන වශයෙන් එල්ල වූ ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට නොගෙන මුස්ලිම් ප්‍රජාවට අසමාන ලෙස බලපාන පරිදි කර ඇති මෙම ආදාහනය පිළිබඳ රෙගුලාසි වෙනම සලකා බැලිය නොහැකිය. වසංගත තතත්වයට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවුයේ ඉස්ලාමීය මූලධර්මවාදීන් විසින් සිදු කරන ලද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව හා රටේ වයඹ පළාතේ මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහිව කැරලි ඇතිව මුස්ලිම් විරෝධී හැඟීම් දැඩි මට්ටමක පැවති වාතාවරණයක තිබියදීය. මාවනැල්ල, අළුත්ගම සහ දිගන යන ප්‍රදේශවලදී මුස්ලිම් ජනයාගේ වාසස්ථාන, ව්‍යාපාර සහ ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් කළ ප්‍රහාරද පසුගිය දශකය පුරා ඇදුණු මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල වලම දිගුවෙන් එකකි.

වසංගතය පවතින සන්දර්භය තුළදී පමණක්,හිතාමතාම රෝගය පැතිරවීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ට දොස් පවරා ඇති අතර,ඒවා සත්‍යතාවය සම්බන්ධයෙන් කරුණු තහවුරු කොට ගැනීමෙන් හෝ අභියෝගයට ලක් කර ගැනීමෙන් තොරව රජයේ නිලධාරීන් කරන පදනම් විරහිත ප්‍රකාශයන්ය. විවිධ අවස්ථාවන් හිදී රජයේ නිලධාරීන් සහ මාධ්‍ය මඟින් මෙම ප්‍රකාශයන් දැඩි ලෙස පුනරුච්චාරණය කර ඇති අතර ඒවාට ඇත්ත වශයෙන්ම පදනමක් ඇත්තේ නැත. වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය ද COVID වින්දිතයින්ගේ ජනවාර්ගිකත්වය උපුටා දැක්වීම හේතුවෙන් ද COVID-19 පැතිරීම වැළැක්වීමට මුස්ලිම්වරුන් ක්‍රියා නොකරන බවටත්, එය පැතිරීමට ක්‍රියා කරන බවටත් යනුවෙන් ඔවුන්ට එරෙහිව එල්ල වන වෛරී භාෂණය තවදුරටත් ඇවිස්සීමට සමත්ව තිබේ.

මුස්ලිම් වින්දිතයෙකුගේ ආදාහනය පිළිබඳ ප්‍රවෘත්ති එකින් එක කන වැකෙත්ම, බොහෝ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් පුද්ගලික වශයෙන්ම දොම්නසට පාත්‍රවෙමින් තිබේ. භූමදානය කිරීම මුස්ලිම්වරුන්ට ආශීර්වාදයක් හා ගෞරවයක් යැයි යන විශ්වාසයට අනුකූලව, වෙනත් අවස්ථාවල දී, ඔවුන් මියගිය තම සමිපතමයන්ගේ දේහය භූමදාන කර ඇති ආකාරය එමඟින් ඔවුන්ට මතකයට නැඟෙයි. COVID හේතුවෙන් මරණයට පත් වූ 19 හැවිරිදි ආබාධිත පිරිමි දරුවෙකුගේ ආදාහනය නිවේදනය කිරීමෙන් පසු, එවැනිම තවත් පුද්ගලයෙකු විසින් තම ෆේස්බුක් ගිණුමේ පහත යාච්ඤාව පළ කොට තිබුණි.

‘දෙවියන් වහන්සේ ඔහුට ස්වර්ගයේ උසස් ස්ථානයක් ලබා දෙත්වා; ඔහුගේ ශරීරය ගිනිබත් කරන ගින්න ඔහු සිසිල් කරනු ඇත. ‘

 

අමලිනි ද සේරා/ ස්වස්තිකා අරුලිංගම්
විමුක්ති ව්‍යාපාරය

Facebook Comments

wedding people