හර්තාල්, උපවාස හා ජාත්‍යන්තර විරෝධය හමුවේ ආණ්ඩුව මුල්ලිවයික්කාල් සමරුවට ඉඩ දෙයි (VIDEO)

0

පසුගිය සති අග නීති විරෝධී කියා සුන් කර දමනු ලැබූ යුද්ධයෙන් මළවුන් වෙනුවෙන් වූ උතුරේ ස්මාරකයක් මේ සතිය මුලදී නීත්‍යානුකූල බවට පත් කරමින් ආණ්ඩුවේ අනුමැතියෙන් නැවත ඉදිකිරීමට මුල පුරන ලදී.

යාපනය විශ්ව විද්‍යාල භුමියේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් සමරුව බිඳ හෙලීම හෙලා දකිමින් දෙමළ උපාධි අපේක්ෂකයන් විසින් දියත් කරන ලද උපවාසයකට සහාය දෙමින් උතුරු නැගෙනහිර පුරා දෙමළ-මුස්ලිම් ඒකාබද්ධ හර්තාලයක් දියත් වෙද්දී නැග ආ ජාත්‍යන්තර විරෝධය හමුවේ ආණ්ඩුවට පසුබාන්නට සිදුවී තිබේ.

“එතන තිබිය යුතු නැති නීති විරෝධී එකක්” ලෙස ස්මාරකය මුලින් හැඳින්වූ යාපනය සරසවියේ උප කුලපති වරයාම සිසුන් පිරිවරා ගොස් මඩ දියේ බැස මුල් ස්මාරකයේ නටබුන් අතරින් මතුකරගත් ගල් දෙකක් මත ශුද්ධවූ අළු හා සඳුන් කල්ක ආලේප කොට මල් තබා හින්දු සමයානුකූල ස්තෝත්‍ර සජ්ජායනා කොට මහත් බැතියෙන් යුතුව ආශිර්වාද කළේ නැවත ඉදිකිරීම නීත්‍යානුකුල කරමිනි.

එම අවස්ථාවට යන මග සරසවි භූමියේ සන්නද්ධ භටයන් සමග සිටි කෝපායි පොලිස් ස්ථානාධිපතිවරයාට උපකුලපතිවරයා ප්‍රකාශ කළේ විරෝධය සමහන් කරනු පිණිස ස්මාරකයට ඉඩ දෙන ලෙස තමන්ට නියෝග කෙරුණු බවයි.

“මම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට ලිව්වා. තමිල්නාඩුවේ ලොකු ප්‍රශ්නයක්. සම්බන්ධන් මහත්තයා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යනවා,” යි මහාචාර්ය එස්. ශ්‍රීසද්ගුණරාජා කියා සිටියේය.

“ශිෂ්‍යයන් සනසන්න එතන ගල් දෙකක් තියලා ඒ අයගේ ඉල්ලීමට ඉඩ දෙනවා කියලා සංකේතාත්මකව පෙන්නුම් කළා. දැන් මුකුත් ඉදිකරන්නේ නෑ. ඒක පස්සේ කරන්නේ. මේක සෙත් පැතීමක්.”

යාපන සරසවියේ මුල්ලිවයික්කාල් ස්මාරකය “උතුර හා දකුණ අතර සමගියට බාධාවක්” ලෙසින් හෙලා දුටු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධානී මහාචාර්ය සම්පත් අමරතුංග අලුතින් ඉදිකිරීමට සැරසෙන ස්මාරකය ගැන තවමත් කිසිත් කියා නැත.

විරෝධය පෑ සිසුන් උපවාසය නිමා කිරීමෙන් අනතුරුව මහාචාර්ය සද්ගුනරාජා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර තිබුනේ “මං කළේ නීති විරෝධී ඉදිකිරීමක් නීත්‍යානුකුල කිරීමක් විතරයි,” යනුවෙනි.

ඒ සඳහා මේ තරම් විනාශයක් කිරීම අවශ්‍ය වුයේ ඇයිදැයි පැහැදිලි කිරීමට මෙන් ඔහු කියා සිටියේ “මේ නීති විරෝධී ස්මාරකය නිසා බුද්ධි අංශ වලයි, ආරක්ෂක අංශ වලයි ප්‍රශ්න කිරීම් වලට මට හැමදාම මුණ දෙන්න සිද්ධ වෙනවා,” යනුවෙනි.

කෙසේ වෙතත්, වසර කීපයක් තිස්සේ ආපදාවකින් තොරව විශ්ව විද්‍යාල භුමියේ පැවති යුද පීඩිතයන්ගේ ස්මාරකය නීති විරෝධී බවට නැගෙන චෝදනා සරසවි සිසුහු තරයේ ප්‍රතික්ෂේප කරති.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසු නායක මසානියා දර්ශිකන්, සිසු උපවාසය නිමා කරමින් මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ “2018 දී විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් අවසර ලබාගෙන මේ ස්මාරකය ගොඩ නැගුවේ විශ්ව විද්‍යාලය විසින් පෙන්නා දුන් ස්ථානයක,” බවයි.

ස්මාරකය නැවත ඉදි කිරීමට මුල පිරූ උපකුලපතිවරයාට එරෙහිව කිසියම් බාධාවක් කෙරෙන්නේ නම් ඔහු වෙනුවෙන් පෙනී ඉන්නා බවද සිසු නායකයෝ අවධාරණය කළහ.

Facebook Comments

wedding people