“මහ මුහුදේ ජනසංහාරයක්” ගැන නාවික හමුදාවට ඉන්දීය ධීවර චෝදනා

0

ශ්‍රී ලංකා සාගර කලාපයේ සඳුදා රාත්‍රියේ ගිලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයන් දෙදෙනකුගේ සිරුරු බදාදා ගොඩගන්නා ලද බව නාවික හමුදාව පවසයි.

තම සගයන්ගේ වියෝවෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටින තමිල්නාඩු ධීවර සංවිධාන පවසන්නේ නාවික හමුදාව විසින් මුහුද මැදදී එම යාත්‍රාව හප්පා ගිල්ලන ලද බවයි.

‘සින්නයියා’ නම් ට්‍රෝලර් යාත්‍රාව ඩෙල්ෆ්ට් දුපතින් එපිට මුහුදේ ජනවාරි 18 දා දියඹේ ගිලී ඇති අතර එහි සිටි යුද්ධයෙන් පලා ගිය ශ්‍රී ලාංකිකයකු ඇතුළු සිව් දෙනකු මුලින් අතුරුදහන් වී තිබුණි.

“ට්‍රෝලර් එක සමග මළ සිරුරු දෙකක් ගොඩ අරගෙන තියෙනවා,” යි නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

“මේක මහ මුහුද මැද ජන සංහාරයක් මිසක් වෙන මුකුත් නෙවෙයි,” යනුවෙන් ධීවර නායක බෙන්සිංලාස් ජේසුරාජා ජේඩීඑස් වෙබ් අඩවියට පවසා තිබුණි.

ගොඩගත් සිරුරු ශ්‍රී ලංකාවට ගෙනැවිත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඉන්දියාවට භාර දෙනු ලබන බව කපිතාන් සිල්වා කියා සිටී.

තමිල්නාඩු වෙරළබඩ පොලිසියට සහ ප්‍රාන්තයේ ධීවර අධ්‍යක්ෂට ධීවරයන් පැමිණිලි කොට තිබේ.

වේග ප්‍රහාරක නෞකාවක වම්පස බඳේ ඉහල තට්ටුව ආසන්නයේ කඩතොළු වීමක් දැක්වෙන ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ නීති විරෝධී ලෙස මාළු බෑමේ යෙදී සිටි ට්‍රෝලරයක් හමුදා යාත්‍රාවේ “ගැටීමට සලස්වා පැනයාමට” ගත් උත්සාහයේදී ගිලුණු බවයි.

“නාවික හමුදා යාත්‍රා මඟහැර අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා පැනයාමට උත්සාහ කල එක් ධීවර යාත්‍රාවක් සමතුලිතතාවය ගිළිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වී ඇත. එමෙන්ම මෙම ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති අතර, එය කංකසන්තුරය වරාය වෙත ආරක්‍ෂාකාරීව අළුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබේ,” යනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කරන ප්‍රකාශය පදනම් විරහිත එකක් ලෙසින් තමිල්නාඩු ධීවරයෝ එකහෙලා ප්‍රතික්ෂේප කරති.

ශ්‍රී ලාංකික යුද අනාථයා

“අඩි හතළිහක් දිග අශ්වබල 120 එන්ජිමක් තියෙන ලී ට්‍රෝලර් එකක් වානේ නැවක හප්පලා කඩන්නේ කොහොමද?” යි රාමේශ්වරම් ධීවර සංගම් නායක ජේසුරාජා විමසයි.

ඔහු පවසන ආකාරයට අතුරුදහන් සිව් දෙනා මෙසියා අන්තෝනිරාජ්, සෑම් නේසපෙරුමාල්, නාගරාජ් වෙල්ලෙයිසාමි සහ සෙන්දිල්කුමාර් සෙල්වම් ය.

සෑම් නේසපෙරුමාල් මණ්ඩපම් ශ්‍රී ලංකා අනාථ කඳවුරේ දීර්ඝ කාලයක් තිස්සේ වාසය කරන්නෙකි.

මාරාන්තික අනතුර සිදුවූ රාත්‍රියේ ‘සින්නයියා’ ට්‍රොලරය සමග මුහුදු ගිය තවත් යාත්‍රාවක සිටි ධීවරයකුද අනන්‍යතාව හෙළි නොකර ජේඩීඑස් වෙබ් අඩවියට කතා කර තිබුණි.

“ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරයට අහුවෙලා හිටපු ගිලිච්චි ට්‍රෝලර් එකෙන් අපිට වෝකි-ටෝකි පණිවිඩයක් ආවා උදව් ඉල්ලලා. ඒත් අපි ඒ දිහාවට යනකොට බෝට්ටු තුනක හිටිය නාවික හමුදාව අපිට තර්ජනය කරලා එලවා ගත්තා.”

අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් අදාල ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරෙන බව නාවික හමුදා ප්‍රකාශක ඉන්දික ද සිල්වා පවසයි.

ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව මේතාක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

Facebook Comments

wedding people