නීති පොතට පණ දිය හැක්කේ පුරවැසි අරගල වලිනි: සන්ධ්‍යා (VIDEO)

0

යුක්තියේ යාන්ත්‍රණය ශක්තිමත් කළ හැක්කේ යුක්තිය සොයා යන පුරවැසියන්ගේ අරගලවලින් බව අතුරුදහන් කරනු ලැබූ සිය සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් පවසයි.

“ඒ යුක්තියට පණ දෙන්න හැකි වෙන්නේ, ඒ නීති පොත් වල තියන නීතීන්ට පණ දෙන්න පුළුවන් වෙන්නේ අපේ ශක්තියේ අපේ අරගලයේ ශක්තියක් තුලින් කියලා. ”

යුක්තිය සොයා අඛණ්ඩව දශකයකට අධික කාලයක් තිස්සේ අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ ඒ බව සදහන් කළේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර එකොලොස් වසරක් සපිරෙන මොහොතේ www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

“ප්‍රගීත් එක්නැලිගොඩ නම් ඒ මානව ප්‍රේමියා අපෙන් උදුරාගෙන වසර 11යි!” තේමාව යටතේ 2021 ජනවාරි මස 25 වන සඳුදා සවස 4 සිට 6 දක්වා බොරැල්ල, ආචාර්ය ඇන්. ඇම් පෙරේරා පරිශ්‍රයේදී එම වෙබ් අඩවිය ජනගත කිරීම සංවිධානය කර තිබුනේ “එක්නැලිගොඩ සංසදය” විසිනි.

සිය සැමියාට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් සිදු කරගෙන යන අරගල මාවත “පාරමිතාවක් ” ලෙසින් හැදින්වු සන්ධ්‍යා එක්නැලිගොඩ එකොලොස් වසරක් පුරා තමා වටා සිටිමින් ශක්තිය හා ධෛර්ය ලබා දුන් යුක්තිය වෙනුවෙන් සටන් වදින සිවිල් සමාජ පුරවැසියන්ට තුති පුද කළේය.

රටේ පවතින වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු නැවතී ඇති බව පැවසු ඇය හෙට දිනයේ අධිකරණයේ රාමුව වෙනස් වීමට ඇති හැකියාව පිළිබදවත් බිය පළ කළාය.

මානව හිමිකම් ක්‍රියාකාරිනි සන්ධ්‍යා එක්නැලිගොඩ එහිදී රාජපක්ෂවරුන්ට අවධාරණය කළේ ප්‍රගීත් එක්නැලිගොඩ විනාශ කර දැමුවද ඔහුගේ සිතුවිලි ඔහුගේ දරු දෙදෙනා විසින් දිගටම ගෙන යනු ඇති බවයි.

” මේ රටේ යුක්තිය සොයන මිනිසුන් වෙනුවෙන් නීතියේ සහ මේ රටේ අරගලය සහ හොඳ යහපත් දේශයක් ගොඩ නැගීම වෙනුවෙන්. ”

වසර එකොලහක් පුරා තමන්ට සහාය දැක්වු මාධ්‍ය සගයන්ටත් සන්ධ්‍යා එක්නැලිගොඩ එහිදී තුති පුද කළාය.

එකොලොස් වසරක් පුරා අතුරුදහන් ප්‍රගීත් එක්නැළිගොඩ වෙනුවෙන් යුක්තිය සොයා තමන් කළ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රගීත් එක්නැළිගොඩ ජීවත්ව සිටියදී ලිඛිත හා චිත්‍රයට නගන ලද සියල්ල එක්තැන් කරමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්නන්ට මෙන්ම අතුරුදහන් වුවන් පිළිබදව තොරතුරු ගවේෂණය කරන්නන්ට ද එම වෙබ් අඩවිය ප්‍රයෝජනයට ගන්නා ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබුනේ 2010 ජනවාරි 24 දාය.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ද ඊට පෙර කැරලි වලින්ද අතුරුදහන් දහස් සංඛ්‍යාත ජනකායකගේ ඥාති සමුහයාගේ සංකේතයක් බවට පත්වූ කාන්තාවක් ලෙසින් සන්ධ්‍යා එක්නැලිගොඩ එක්සත් ජනපද ජගත් දිරිය කත සම්මානයෙන් 2017 වසරේදී පුද ලද්දීය.

සම්මානය සඳහා ඇය තෝරාගැනීමට හේතු පාදක වූයේ අතුරුදහන් සිය සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ සත්‍යය හෙළි කරගැනීමට බාධා පෑ බලධාරීන්ගේ අවහිර නොතකා අසූ වතාවකට වඩා උසාවි ගානේ යමින් සන්ධ්‍යා විදහා දැක්වූ ධෛර්යය බව ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොන් විසින් ප්‍රකාශ කර තිබුනි.


යුක්තිය සොයා යොදුන් ගණන්

සිය සැමියාට යුක්තිය පතා සන්ධ්‍යා එක්නැළිගොඩ පසුගිය වසර දහයක් තුළ ගමන් ගත් දුර ප්‍රමාණය Maatram වෙබ් අඩවියේ සංස්කාරක සෙල්වරාජා රාජසේකර් පසුගිය වසරේ ගණනය කර තිබුනි.

සෙල්වරාජා රාජසේකර් පෙන්වා දෙන පරිදි සන්ධ්‍යා එක්නැළිගොඩ යුක්තිය ළඟා කර ගැනීම සඳහා පසුගිය වසර 10 ඇතුළත කිලෝමීටර් 411,220 ක දුරක් ගමන් කොට තිබේ.

මෙම දුර ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි බව ඈ පවසයි.

ඒ අනුව අධිකරණ (හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය, අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය) යන ඒවාද, රාජ්‍ය ආයතන (පොලිස් ස්ථාන , හමුදා මූලස්ථානය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිෂන් සභාව) යන ඒවාද මාධ්‍ය හමු, උද්ඝෝෂණ, ප්‍රදර්ශන,ආගමික ස්ථාන, විදේශ ගමන්, (මානව හිමිකම් කොමිසම, ප්‍රදර්ශන,සම්මාන) වෙත ඈ විසින් මෙම වසර 10 තුළ ගමන් කොට ඇති දුර ගණනය කොට ඇත.

Facebook Comments

wedding people