උතුරු නැගෙනහිර පුරා මුල්ලිවයික්කාල් කැඳ පිස දන් දෙමින් දෙමළ ජනතාව මැයි මස 12 දායින් ආරම්භ වන දෙමළ වර්ග සංහාරක සතියට මුල පුරා තිබේ.
පළමු කැඳ පිසීම සිදු කොට ඇත්තේ යුද්ධයේ ලේ වැකි අවසාන දින කිහිපයේදී ආණ්ඩුවේ කැඳවීම අනුව කොටුවී සිටි යුද මුක්ත කලාපය පිහිටි මුල්ලිවයික්කාල් භුමියෙනි.
දැඩි සෝදිසියක යෙදෙමින් සැරිසරමින් සිටි යුද හමුදා භටයන්ටද සංවිධායකයන් කැඳ සත්කාර කරනු මාධ්‍යවේදීන් විසින් රූප ගතකොට තිබේ.
උතුර – නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා එක්ව එම කටයුතු සංවිධානය කළ පොදුජන සංවිධාන සිංහලෙන් බෙදාහල පත්‍රිකාව එම ස්මරණයේ අරුත පහදා දෙන්නේ මෙසේය.
ඒ 2009 දෙමළ ජනයාට එරෙහිව දියත් කර තිබූ වර්ග සංහාරක යුද්ධයේ අවසන් දින කිහිපයයි. සිව් දෙසින් වටකළ හමුදාවෝ අසරණ අවතැන් මිනිසුන්ගේ හිස් මත මරණය වපුරමින් සිටියහ. ඊට විරාම නොතියා මිනිසුන්ගේ බංකර්වලට හෙළන ලද ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බ ද පිපිරෙමින් තිබුණි. මළමිනී සහ මරණීය තුවාල ලැබූවන්ගේ උණුසුම් රුධිරයෙන් මුල්ලිවයික්කාල් නම් දුක්ඛිත නිජබිම නැහැවී ගියේය.
විමුක්තිය අදිටන් කරගත් දේශයක මිනිසුන්ව සාගින්න සහ මරණය විසින් වටකර තිබුණි. මුදල්වලට වටිනාකමක් හෝ සාගින්නට අහරක් හෝ තිබුණේ නැත. ඉතිරිව තිබූ සමාජ සුබසාධන සංවිධානත්, දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයත් එක්ව, වන්නියේ කුඹුරු බිම්වලින්ම ජීවිත සරිකරගත් මිනිසුන්ගේ අවසන් ජීව පොද රකිනු වස් ‘මුල්ලිවයික්කාල් කැඳ’ නම් ජීවන මාත්‍රාව පිසුවේ එවන් මොහොතක ය. ඒ මිනිසුන්ට අහර වූයේ වතුරත්, සහල් මිටකුත්, සොයා ගත හැකි වුවොත් ලුණු බිඳකුත් එක්කොට පිසූ මේ කැඳ පමණි.
ළමුන්, මහල්ලන් හා ගැබිණි අම්මාවරු කැඳ ලැබෙනතුරු දිගු පෝලිම්වල හාමත්ව කල් මැරූහ. එසේ පෝලිම්වල කල් ගෙවද්දීම ගුවනින් හෙළන ලද පොකුරු බෝම්බවලට හා ෂෙල් වෙඩිවලට ලක් වී දහස් ගණනකට මරණයම උරුම විය. ලැබෙනතුරු බලා සිටි කැඳ කෝප්පයෙන් උගුරක් තොල ගා කුසේ වැඩෙනා දරුවාගේ බඩගින්න නිවීමට පෙරම, ගැබ විවර වී ලේ විසිරී අතුරුණුබහන් හා නූපන් කළලය එළියට විසිව තිබූ මිනිස් ඛේදාන්තයන් ඒ කැඳ පිළිබඳ මරණීය මතකයක් එක්කර අපේ පරම්පරාවේ හදවත් තුළට කා වැදුණි.
යුක්තිය ඉල්ලා අරගල කරන අපේ මිනිසුන්ගේ වේදනාබරිත හඬට මේ ලෝකය සවන් දෙන තුරු “මුල්ලිවයික්කාල් කැඳ” විසල් වේදනාබර ඛේදවාචකයක්, සංකේතයක් ලෙස අපේ ජනයාගේ සාමූහික මතකය තූළ ආරක්ෂා කර ගැනීම අපේ ඓතිහාසික වගකීම යි.
යුක්ති සහගත ගෞරවාන්විත ජීවිතයක් උදෙසා අරගල කරන්නට බලකෙරුණු මිනිසුන්ගේ මෙම ජනතා නැඟිටීමෙහි එක් මොහොතක් ලෙස “මුල්ලිවයික්කාල් කැඳ” ද ඉතිහාසයේ එක්තරා තැනක සලකුණු වී තිබේ. පත්‍රිකාව පහතින්: