කොක්කුතොඩුවායි සමූහ සුසානයේ කැනීම් හෙට සිට

0

යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියෙන් මතුවූ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට සිදු කිරීමට මුලතිව් අධිකරණය තිරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ මාස දෙකකට ඉහත දී මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් හමුවු මුලතිව් කොක්කුතොඩුවායි සමුහ සුසානයේ කැනීම් කටයුතු වල වගකීම් පැවරී ඇති රාජ්‍ය නිලධාරීන් සමග සැප්තැම්බර් 5 වැනිදා හවස් යාමයේ එහි ගිය මුලතිව් මහේස්ත්‍රාත් ටි.ප්‍රදීපන් විසින් කරන ලද නිරීක්ෂණයකින් අනතුරුවය.

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය පරමු පුෂ්පරත්නම් ද විමර්ශනයට දායක වනු ඇති බව සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

කැනීම්වලට නිළ වශයෙන් සම්බන්ධ පුද්ගලයන් හැර වෙනත් කිසිවකුටත් සමූහ සුසාන භූමියට ඇතුල් වීමට අවසර නොදෙන බව පොලිසිය විනිසුරුවරයාට දැනුම් දී තිබේ.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

පළමුවරට කැනීම ජුලි 06

මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් ජුනි 29 වැනිදා අහම්බයෙන් හමුවු කොක්කුතුඩුවායි භුමිය ජුනි 30 වැනිදා නිරීක්ෂණය කරමින් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා දුන් නියෝගය අනුව ජුලි 6 වැනිදා භූමියේ කැනීම් කටයුතු ආරම්භ කරන ලදී.

එදින අවම වශයෙන් මිනිස් අස්ථි කොටස් දහයකට වැඩි ප්‍රමාණයක් දැකගන්නට ලැබුන බව කැනීම් කටයුතු ඇසින් දුටුවෝ පවසති.

මුලතිව් අධිකරණ සංකීර්ණයේදී දිසා විනිසුරු ටී. ප්‍රදීපන්ගේ මූලිකත්වයෙන් ජුලි 13 වැනිදා පවත්වන ලද ඉහළ පෙලේ සාකච්ඡාවකින් පසුව, මෙම ස්ථානයේ ඉදිරි කැණිම් කටයුතු පිළිබද තීරණය ගැනීම අවස්ථා කිහිපයකදීම කල් ගියේය.

මුලතිව් අධිකරණයේදී අගෝස්තු 31 වැනිදා පැවැති සාකච්ඡාවකින් අනතුරුව නීතිඥ නීතිඥ වී. එස්. නිරන්ජන් සඳහන් කළේ සැප්තැම්බර් 5 වැනිදා කැනීම් කටයුතු ආරම්භ කිරීමට මුලතිව් දිසා විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් නියෝග කළ බවයි.

මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය ආශ්‍රිතව කම්කරුවන් විසින් ආරක්ෂිත ආවරණයක් ඉදිකිරීමේ කටයුතු අගෝස්තු 5 වැනිදා දහවල් වන විටත් සිදුව පැවැති බැවින් හවස් යාමයේ එම ස්ථානය කිරීක්ෂණය කිරීමෙන් පසුව හෙට උදෑසන කැනීම් කටයුතු ආරම්භ කිරීමට මහේස්ත්‍රාත්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් තීරණය කර ඇත.

යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන්ද, පැහැරගනු ලැබීමෙන්ද අනතුරුව අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ අඛන්ඩ අරගලයක යෙදී සිටින උතුරේත් නැගෙනහිරත් යුද පීඩිත දෙමළ මව්වරුන් ඉල්ලා සිටින්නේ සමූහ මිනීවලේ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් හවුල්කරගන්නා ලෙසයි.

Facebook Comments

wedding people