කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු මරණ තර්ජන නිසා ඉල්ලා අස්වෙයි

0

හින්දුන් මෙන්ම බෞද්ධයන් ද අයිතිය කියා පාන කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමියේ අධිකරණ නියෝග නොකතා කුරුන්දි විහාරය ඉදිකිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කළ විනිශ්චයකාරවරයා තමන්ට එල්ල වී තිබෙන මරණ තර්ජනය හමුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් විනිසුරු ටී. සරවණරාජා දැනුම් දී තිබුනේ තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජනය හේතුවෙන් අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බවයි.

“මා හට එල්ල වී ඇති ජීවිත තර්ජන සහ දැඩි ආතතිය හේතුවෙන්, මා හොබන දිසා විනිසුරු තනතුරින්, මහේස්ත්‍රාත් තනතුරින්, පවුල් අධිකරණ විනිසුරු තනතුරින්, ප්‍රාථමික අධිකරණ විනිසුරු තනතුරින්, සුලු හිමිකම් අධිකරණ විනිසුරු තනතුරින්, බාලක අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බව මෙයින් දැනුම් දෙමි.”

මහේස්ත්‍රාත් ටී. සරවනරාජාගේ අධිකරණ තීන්දු සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින් කිහිපවර පාර්ලිමේන්තුවේදී අභියෝගයටද ලක් කර තිබුනි.

කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භුමියේ අධිකරණ සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත හින්දු බැතිමතුන් අගෝස්තු 18 වැනිදා පොංගල් උත්සවය සමරා තිබුනේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පනවා තිබු කොන්දේසි යටතේය.

හින්දුන්ට පොංගල් සැමරීමට මහේස්ත්‍රාත් වරයා දුන් අවසරය සරත් වීරසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙලා දැක තිබුනේ “මෙවරත් මුලතිව් මහේස්ත්‍රාත්වරයා කුරුන්දියේ බෞද්ධ විහාර සංකීර්ණයේ පොංගල් උත්සවයක් තියන්නට අවසර දුන්නා. ඒක හරියට ගල්කිස්සේ මහේස්ත්‍රාත් වරයා වැල්ලවත්තේ ශිව කෝවිලේ පිරිත් කියන්න අවසර දුන්නා වගේ දෙයක් තමයි එතන වෙලා තියෙන්නේ. යනුවෙන් පවසමිනි.”

අනතුරුව වීරසේකර මන්ත්‍රීවරයා මුලතිව් මහේස්ත්‍රාත්වරයා මානසික ආබාධයකින් පෙළෙන බව තහවුරු කිරීමට පාර්ලිමේන්තුවේ මහත් උත්සාහයක් ගෙන තිබුනේ පහත අයුරිනි.

“මේ අදාල මහේස්ත්‍රාත් වරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තියනවා ඔහු මානසික ආබාධයකින් පෙළෙනවා කියලා. කවුද ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ. ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ඔහුගේම බිරිද. ඒ මහේස්ත්‍රාත්වරයා මුලතිව් පොලීසියට පැමිණිල්ලක් කරනවා එයාගේ නිවසේ සොරකමක් උනා කියලා. ඒ නඩුව තමයි බී 62/22 . මුලතිව් උසාවියේ තමයි ඒ නඩුව විභාග කරන්නේ. ඒ නඩුවේ විමර්ශනයේ දී ඒ මහේස්ත්‍රාත්වරයාගේ බිරිද පොලීසියට ප්‍රකාශයක් කරනවා මොහු මානසික ආබාධයකින් පෙළෙනවා ඒ නිසා මම මගේ ස්වාමි පුරුෂයාව මානසික වෛද්‍යවරයකු ලගට ගෙනියනවා කියලා. ”

සරත් වීරසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී බලධාරීන්ගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබුනේ මුලතිව් මහේස්ත්‍රාත්වරයා මාරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාවේ සිටි ඉහළ පෙළේ හමුදා නිලධාරියකුද වන සරත් සරත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අධිකරණයට සිදු කළ අපහාසය හෙළා දකිමින් උතුරු නැගෙනහිර දෙපළාතේ නීතිඥයන් විරෝධතා ද දියත් කළ කර තිබුනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබුනේ අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ එය තහවුරු වන ලෙස ක්‍රියා කිරීම රජයේ සහ අනෙකුත් සියලුම ආයතනවල වගකීම බවයි.

“කිසිදු පාර්ශවයකින්, කුමන හේතුවක් මත හෝ සෘජුව හෝ වක්‍රව කිසිඳු සීමා කිරීමකින්, අනිසි බලපෑම්වලින්, පෙළඹවීම්වලින්, තර්ජනවලින් හෝ ඇඟිලි ගැසීම්වලින් තොරව, තමන් ඉදිරියෙහි ඇති කරුණු අපක්ෂපාතීව, නීතියට අනුව, කරුණු මත පදනම්ව, අධිකරණය විසින් තීරණය කළ යුතුය,” යි සභාපති කෞශල්‍ය නවරත්න සහ ලේකම් ඉසුරු බාලපටබැඳි ගේ අත්සනින් ජුලි 10 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Facebook Comments

wedding people