කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ ඇත්තේ 90 දශකයේ මැද භාගයේ සිරුරු

0

යුද පීඩිත වන්නියේ කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙන් ගොඩ ගන්නා ලද සිරුරු 1994 සහ 1996 අතර කාලය තුළ අවිධිමත් ලෙස වල දමන ලද ඒවා බවට කැනීම් කටයුතු සිදුකරන විශේෂඥයෝ විශ්වාස කරති.

වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මුලතිව් දිසා අධිකරණයට අද (22) ලබා දුන් වාර්තාවකින් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කර තිබේ.

කොක්කුතොඩුවායි – කොක්කිලායි මාර්ගයේ ජල නල එළීමේදී ගිය අවුරුද්දේ ජුනි 29 දා අහඹු ලෙස සොයා ගන්නා ලද මෙම ස්ථානයේ කැණීමේ පළමු අදියර දෙකේදී මිනිස් ඇටසැකිලි 40 ක සිරුරු කොටස් ගොඩගන්නා ලදී.

ඒ පිළිබඳ කාල නිර්ණයක් කර ඇත්තේ මුල්ම වතාවටය.

“මහාචාර්ය රාජ් සෝමදේවගේ අතුරු වාර්තාව අද ඉදිරිපත් කර ඇත. සිරුරු කොටස් 40ක් පුරාවිද්‍යා කණ්ඩායම විසින් සම්පූර්ණයෙන් පරීක්‍ෂා කර ඇත. ආගමික වතාවත් පවත්වීමකින් තොරව කඩිමුඩියේ මිහිදන් කර ඇති ඒවා 1994-96 අතර යුද සමයේදී මිහිදන් කළා වන්නට පුළුවනි,” යි මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) කනගසබාපති වාසුදේව ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පැවසීය.

බහුතරයක් කාන්තාවන්ගේ වන ගොඩගන්නා ලද සිරුරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ බවට සැක කෙරේ. මෙම සිරුරු කොටස් සහ කාන්තාවන් අඳින යට ඇඳුම් ඇතුළු ඇඳුම් කොටස් සහ හැඳිනුම් තහඩු කැණීමේදී සොයා ගනු ලැබිණ.

මෙම කැණීම සම්බන්ධයෙන් වැඩිදුර තීරණය මාර්තු 4 වැනිදා නඩුවේ මීළඟ නඩු විභාගයේදී ලබාදෙන බව අතුරුදන්වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී කේ නිරංජන් පැවසීය.

“අමාත්‍යාංශයෙන් මුදල් මුදා හැරීමට යටත්ව කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ සිරුරු කොටස් කැණීමේ මීළඟ අදියර මාර්තු 4 වැනිදා ආරම්භ වීමට ඉඩ තිබෙනවා. . කෙසේ වෙතත්, හේතුව, වයස, ලිංගභේදය සහ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ..”

රේඩාර් උපකරණ මගින් සිදු කරන ලද ස්කෑන් පරීක්‍ෂණයකින් සිරුරු ස්ථර දෙකකින් වළ දමා ඇති බව පෙන්නුම් කළ බැවින් අවම වශයෙන් තවත් මීටර් දෙකක්වත් තව දුරටත් කැණීමට සිදුවනු ඇතැයි අධිකරණයට ලබා දුන් අතුරු වාර්තාවේ දැක්වේ.

ගොඩගත් සිරුරු කොටස් පිළිබඳ වැඩිදුර අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ සිදුකෙරෙන දිනයක් මුදල් හිඟය හේතුවෙන් තීරණය කර නොමැති බව වෛද්‍ය වාසුදේව පවසයි.

Facebook Comments

wedding people