අතුරුදහන්වුවන්ට යුක්තිය ඉල්ලන විරෝධතාවට නැගෙනහිරදී උසාවි තහංචි

0
32

යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන්ට අත් කළ ඉරණම පිළිබද සත්‍ය හෙළි කර යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලීමට නැගෙනහිර පළාතේ මව්වරුන් සැලසුම් කර තිබු විරෝධතා පා ගමනක් අධිකරණ නියෝග ලබා ගනිමින් නවතා දැමු පොලීසිය, මව්වරුන්ගේ උද්ඝෝෂණයට එක් වු ප්‍රදේශයේ සිවිල් ක්‍රියාධරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේදී නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් තුනෙහිම බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධය අතරතුරදී පොලිස් අත්අඩංගුවට ගත් සිවිල් සමාජ ක්‍රියාධර රාජ්කුමාර් රජිව්කාන්ත් දෙමළ මව්වරුන්ගේ දැඩි විරෝධය හමුවේ පැය දෙකක් වැනි කාලයක් තුලදී පොලීසිය විසින් මුදා හැර ඇති බවයි.

අගොස්තු මස 30 වැනි දිනට යෙදී තිබෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් යුද වින්දිත උතුරු පළාතේ දෙමළ මව්වරුන් යාපනය හා කිලිනොච්චියේදීත්, නැගෙනහිර පළාතේ දෙමළ මව්වරුන් ත්‍රිකුණාමලයේදීත් විරෝධතා දියත් කරමින් එක්සත් ජාතීන් හරහා ජාත්‍යන්තර අවධානයට යොමු කිරීමට සන්දේශයක්ද බාර දී තිබේ.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් විසින් නිකුත් කළ අධිකරණ නියෝගයක දැක්වෙන පරිදි ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ දෙමළ මව්වරුන්ගේ විරොධතා පා ගමන වැලැක්වීම සදහා අධිකරණ නියෝගයක් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර අතුරුදහන් වුවන්ගේ දිනය මුල් කරගනිමින් ‘දහසක පමණ’ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව අධිකරණයට දැනුම් දෙමිනි.

“ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස්ථානයේ වැඩබලන මුලස්ථාන පොලිස් පරීක්ෂක විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් 2024.08.30 දිනට යෙදෙන ජාත්‍යන්තර අතුරුදහන් වුවන්ගේ දිනය මුල් කරගනිමින් කටවුට්, බැනර් ප්‍රදර්ශනය කරමින්, විරෝධතා පා ගමනක් ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමාගේ උපදෙස් මත පහත නම් සදහන් අයගේ ප්‍රධානත්වයෙන් මහජනතාව දහසක පමණ පිරිසක් සහභාගී කරගනිමින් පැවැත්වීමට සුදානම් කර ඇති බවටත්…..”

විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයද අධිකරණයට දැනුම් දෙන ස්ථානාධිපතිවරයා අධිකරණයට අවධාරණය කර ඇත්තේ විරෝධතාකරුවන් මාධ්‍යවෙත අදහස් දැක්වීමටත් නියමිත අතර, එමගින් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වීමටත් මහජනතාවට හා දේපල වලට හානි සිදුවෙනවා මෙන්ම ආරක්ෂාවට තර්ජනයක් ඇති වන බවයි.

“මෙම විරෝධතා පා ගමන ත්‍රිකුණාමලය තිරුඥාන සම්බන්ධන පාර, සිවම් කෝවිල අසලදී ආරම්භ කර වරාය පොලිස් වසමේ විදුලි බලාගාර පාර පිහිටි මානව හිමිකම් කාර්යාලය දක්වා ගමන් කර එම ස්ථානයේදී විරෝධතාවයක් සිදු කර ඉන් පසුව තැපැල් කාර්යාල මාර්ගයේ නගරසභා වටරවුම දක්වා ගමන් කර වෙරළ තීරයේ පිහිටි වැලිකඩ පරිත්‍යාගශිලීන් අනුස්මරණ මණ්ඩපය දක්වා ගමන් කිරීමටත්, එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වීමටත් සැලසුම් කර ඇති බවට කරුණු වාර්තා කර ඇති අතර එමගින් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වීමටත් මහජනතාවට හා දේපල වලට හානි සිදුවෙනවා මෙන්ම ආරක්ෂාවට තර්ජනයක් ඇති වන බැවින් එය වළක්වාලමින් විධානයක් නිකුත් කරන ලෙසට මාගෙන් ඉල්ලීමක් කර ඇත.”

එම ඉල්ලීම සලකා බැලු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා, ස්ථානාධිපතිවරයා විසින් නම් කළ විරෝධතාවයට ප්‍රධානත්වය ගන්නා අයට මෙන්ම ඔවුන් සමග පැමිණෙන අයට නියෝග කර ඇත්තේ විරෝධතා පා ගමනක් පවත්වමින් ගැටුම්කාරී ක්‍රියාවන් සිදු කිරීමෙන් වැලකී සිටින ලෙසයි.

“1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106( 1) වගන්තිය ප්‍රකාරව විරෝධතා පා ගමනක් පවත්වමින් ගැටුම්කාරී ක්‍රියාවන් සිදු කිරීමෙන් වැලකී සිටින ලෙසට නුබලාටද 106 (3) වගන්තිය ප්‍රකාරව නුබලා සමග පැමිණෙන අයටද මෙයින් නියෝග කරමි.”

අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා, රාමනාදන් ශ්‍රී ඥානේස්වරම් නොහොත් කන්නන්, ත්‍රිකුණාමලය කාන්තා ජාලයේ සභාපති නීතිඥ මයුරන් ප්‍රසාන්දනී, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති සෙබස්තියන් දේවි, අම්පාර දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති තම්බිරාසා සෙල්වරානි, මඩකලපුව දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති අමලරාජ් අමලනායකී, අහම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානි කණ්ඩුමනී ලවකුව රාසා, මාධ්‍යවේදී කාර්තික් හරිප්‍රියවන් යන අයගේ නමටය.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ අධිකරණ නියෝගයට අවනත වෙමින්, විරෝධතා පා ගමන දියත් නොකළ දෙමළ මව්වරුන් ත්‍රිකුණාමලය, ප්‍රෙඩ්රික් කොටුව ප්‍රධාන මාර්ගය ඔස්සේ සිය සමීපතමයන්ට මලින් පහනින් උපහාර දැක්වීම පිණිස වැලිකඩ පරිත්‍යාගශිලීන්ගේ අනුස්මරණ මණ්ඩපය දක්වා ගමන් කිරීමට උත්සාහ කළත් පොලිසිය එයට බාධා කළ බවයි.

අනතුරුව ප්‍රධාන මාර්ගය මග හරිමින්, මුහුදු වෙරළ ඔස්සේ වැලිකඩ පරිත්‍යාගශිලීන් අනුස්මරණ මණ්ඩපය දක්වා පැමිණි දෙමළ මව්වරුන් වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් මලින්, පහනින් අනුස්මරණය කර මුහුදු වෙරළට පැමිණ අපේ ඥාතීන්ට යුක්තිය ඕනෑ, අතුරුදහන් කළ අපේ ඥාතීන් කෝ, ජාත්‍යන්තර විමර්ශනයක් ඕන ආදී සටන් පාඨ කියමින් විරෝධතා දියත් කර තිබේ.

එහිදී පොලීසිය විසින් සිවිල් සමාජ ක්‍රියාධර රාජ්කුමාර් රජිව්කාන්ත් අත්අඩංගුවට ගැනීම නිසා දෙමළ මව්වරුන් සිය විරෝධය දැඩි කරමින් අවධාරණය කර ඇත්තේ ඔහු නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. පැය දෙකකට පමණ පසුව පොලීසිය ඔහු මුදා හැර ඇති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

විරෝධය අවසානයේ නැගෙනහිර පළාතේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගම්වල නායකත්වය දරන දෙමළ මව්වරුන් තිදෙනා එක්සත් ජාතීන් වෙත යොමු කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල් පියතුමා ඇතුළු පියතුමන්ට සන්දේශය බාර දී ඇත.

සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා උතුරු, නැගෙනහිර දෙපළාතේ යුද වින්දිත දෙමළ මව්වරුන් 2017 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කළ විරෝධතාවයට දින 2749 ක් සම්පුර්ණ අගොස්තු 30 වැනිදා යාපනයට එක්වු මන්නාරම, මුලතිව්, වව්නියා, යන දිස්ත්‍රික්කයන්හි බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ නියෝජිතයෝ කපුරු හට්ටි දල්වා හිස මත තබා ගනිමින් යාපනය ආරියකුලම් සිට පේදුරුතුඩුව මාර්ගය, රෝහල් පාර, කන්කසන්තුරේ මාර්ගය හරහා මුනියප්පර් කෝවිල වෙත පැමිණ යුක්තිය අයැද සිටියහ.

බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චියේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමනින් මීනාච්චි අම්මාන් කෝවිල දක්වා පැමිණ පොල් ගසමින් සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙස ඉල්ලමින් ඔවුන් සිය සන්දේශය බාර දී තිබුනේ යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි වෙතයි.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන අතුරුදන්වූවන් සඳහා නිකුත් කරන සහතිකය ලබා ගැනීමත්, වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින යුද වින්දිත දෙමළ මව්වරුන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර තිබේ.

යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන්ද, පැහැරගනු ලැබීමෙන්ද අනතුරුව අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා රටතුල යුක්තියක් ඉටුවී නැති දෙමළ ජනතාව ඉකුත් පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකි.

Facebook Comments

wedding people