මල් පැණි බොන මදුරුවෝ ඩෙංගු මර්ධනයට

0
1049

ඩෙංගු කීටයන් ආහාරයට ගන්නා මල්පැණි සහ ශාක යුෂ උරාබොන මිනිසුන්ගේ ලේ උරා නොබොන ‘ටොක්‌සොරින් කයිට්‌ස්’‌නැමැති මදුරුවා ප්‍රදේශ කිහිපයකට මුදාහැර ඇති අතර ඉන් ඩෙංගු මර්දන කටයුතු සඳහා වැඩි දායකත්වයක්‌ ලබාගත හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂිකාව පවසයි.

දැනට මෙම මදුරුවන් මහනුවර කුණ්‌ඩසාලේ, මීරිගම සහ කණ්‌ඩලම ප්‍රදේශවලට මුදාහැර ඇති බව අධ්‍යක්‌ෂිකා වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක කියා සිටියේ 23 සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම මදුරුවාගේ කීටයන් විසින් ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක්‌ දක්‌වන බව අනාවරණය වු බවයි මාධ්‍ය හමුව අමතමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී හා කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ කියා සිටියේය.

“ඩෙංගු කීට භක්‌ෂක මෙම මදුරු කීටයාගේ කීට අවස්‌ථාව මාස එකහමාරක්‌ පමණ පවතිනවා. ඩෙංගු කීටයාගේ කීට අවස්‌ථාව පවතින්නේ දින තුනක පමණ කාලයක්‌. ඒ නිසා ඩෙංගු කීට භක්‌ෂකයන්ට තම කීට අවධියේදී ඩෙංගු කීටයන් වැඩි ප්‍රමාණයක්‌ ආහාරයට ගැනීමේ අවස්‌ථාව පවතිනවා. එය මෙම මදුරුවාගේ තිබෙන සුවිශේෂී අවස්‌ථාවක්‌. මෙම කීටයන් මදුරුවන් බවට පත් වූ විට මල්පැණි සහ ශාක යුෂ පමණයි ආහාරයට ගන්නේ. ඔවුන් මිනිසුන්ගේ ලේ උරා බොන්නේ නැහැ.” යි ඇය පෙන්වා දෙයි.

දැනට මෙම මදුරුවන් ගහකොළ සහිත ග්‍රාමීය ප්‍රදේශවල බෝවීම සිදුවන අතර ඉදිරියේදී ටයර්, වැහි පීලි වැනි ජලය රැඳෙන සහ ඩෙංගු මදුරු කීටයන් බහුලව ගැවසෙන ස්‌ථානවල බෝ කිරීම සඳහා පර්යේෂණ සිදු කරන බවද වෛද්‍ය සාගරිකා සමරසිංහ කියා සිටි.

 

Facebook Comments

Ivory Agency Ad