හිරිවැටෙන තැන ටච් කරන ‘ The CLAN

0

‘සිනමාපටයක්’ නිර්මාණය කිරීම පහසු ය. ‘හොඳ සිනමාපටයක්’ තැනීම යුද්ධයක් වැනි ය. ‘විශිෂ්ට සිනමාපටයක්’ නිමැවීම සැබැවින්ම හාස්කමක් ය !

මෙහෙම කියන්නෙ සම්මානලාභී මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂක ‘Alejandro Gonsalez Inarritu’

මේ මල් මසුරං කියමන මට මතක් වුණේ මේ දැන් ටිකකට කලින් විඳගත්ත ආත්මීය සිනමා කම්පනයක් එක්ක. මේක ඇත්ත හාස්කමක් !

නිර්මාණය සහ මීට පාදක ‘සත්‍ය සිදුවීම’ ආර්ජන්ටියානු. නමුත් වේදනාබර රිදීම විශ්ව ව්‍යාප්තියානු.

කතාව ඇතුළෙ අනවශ්‍ය පතරංග දර්ශන එකක්වත් නැති තරං. සියල්ල ඇස් ඇතුළට කිඳා බහින්නෙ දේදුන්නක් වගේ ; හිත් ඇතුළට කිඳා බහින්නෙ ඊයම් බරු වගේ. ඒ තරං බරයි ! සැරයි !

වැඩේ පටන් ගන්නෙ මිනිස් පැහැරගැනීමකින්. ඇත්තටම ඒ වෙලාවෙ ඉඳන් පැහැදිලිවම මේ පැහැරගන්නෙ ප්‍රේක්ෂක ඉවසීම. ඊළඟ කෑල්ල මොකක් වෙයිද කියල නොදැනුවත්වම ඇලෙන කාන්දමෙන් ගැලවෙන්න සහෘදයට හැකියාවක් නැහැ. අපි ඒ තුළ ජීවත් වෙනව. කතාව අපි තුළ හුස්ම ගන්නව.

මේකෙ ප්‍රධාන චරිතය ‘Puccio’ නම් ආදරණීය පියා ; අපරාධකාරී මිනිසා ; මිනිස් ජාවාරම්කරුවා. ඔහු අස්ථාවර දේශපාලනික වටපිටාවක හිඳගෙන පවුලේ උන්නතිය වෙනුවෙන් හීන දකින්නෙක්. සමාජෙ ඉදිරියෙ ගෞරවනීය විලාසයක් හඟවන – ගෙය තුළ අපරාධ ගණනාවකට කෙටුම්පත් හදන්නෙක්. මේ සියුම් හැඟුම් ගැඹුරින් දනවන චරිතයට පණ පොවන්නෙ සම්මානනීය නළු ‘Guillermo Francella.’ මං ආස මනුස්සයා මුහුණෙ ඉරියව් ඇතුළෙ මතු කරන සජීවී සාත්වික අභිනයට. ඒක මාර තාත්විකයි.

ඇත්ත ජීවිතේදි වතාවක් Francellaට වාසනාව ලැබෙනව කියුබානු සමාජවාදී ජනපති ‘Fidel Castro’ගෙ අනුමැතිය ඇතුවම කියුබාව තුළ ඔහුගෙ චරිතය හදාරන්න. ෆිදෙල්ගෙ සම්පූර්ණ කැමැත්ත ආශීර්වාදය සහිතව ඒ රූපගත කිරීම් කරන්න. බුවා එහෙම පොරක් !

ඉතිං මේ CLAN සිනමාපටයෙ ඊළඟ ප්‍රබල චරිතය Puccioගෙ පුත්‍රයා ‘Alex.’ ඔහු සුදක්ෂ රග්බි ක්‍රීඩකයෙක් ; රෝමාන්තික ප්‍රේමවන්තයෙක් ; පියාගෙ අනුබලයෙන් උපන් අහිංසක අපරාධකරුවෙක්. මේ චරිතෙ නිරූපණය කරන්නෙ කඩවසම් නළු ‘Peter Lanzani .’ මේ තෝරාගැනීම විශිෂ්ටයි. මට මිනිහව මේකෙ පේන්නෙම ‘Karl Marx’ තරුණ කාලෙ වගේ. හරියටම ඒ ෆේස් කට්. මං ඌට ලව් ඒකයි.

මේ සිනමාපටය ඇඟට ගුණ ‘හත් මාළුවක්’ වගේ. අවස්ථා ගැළපිලි – කැපිලි කෙටිලි – නාද රටා – කැමරා කැරකිලි ඔක්කොම රහයි. ‘Pablo Trapero’ කියන විශිෂ්ට අදියුරු සහෘද හිත් කොනිත්තනව දරුණුවටම !

ඒක නීතිවේදියෙක් ‘අපරාධයක සම්පාදක ධාතු’ නිරීක්ෂණය කරනව වගේ ඉසියුම්ව කරන හැටි පුදුමයි.

ආත්මය හිරිවැටෙන තරං ‘The CLAN’ සීතලයි.

කාලෙකට පස්සෙ සිනමාපටයක අවසාන දර්ශනෙන් මගේ කට ඇරුණා. ඒ පුදුම සහගත පීඩනේ තාම එහෙමමයි. මං ආස ඔබටත් එහෙම වෙනව නං.

පරිස්සමින් !

කසුන් මහේන්ද්‍ර හීනටිගල

Facebook Comments

wedding people