හඬක් නැති වුන්ගේ හෘද සාක්ෂියේ හඬ. | ක.වේ. බාලකුමාරන්

0

අගතියේ හා අධිපතිවාදයේ

අඳුරින් වැසී ගිය

සිංහල – තමිල් මිත්‍රත්වයේ

ඉතිහාස උරුමය

විද්‍යාවේ හා විචාරශීලීත්වයේ

බුද්ධි කදම්බයෙන් ආලෝකමත් කරන්නට

දිවි හිමියෙන් කැපවූ

සහෝදර සිංහල ප්‍රගතිශීලින්ගේ

දුලබ මිනිස් ධෛර්‍ය වෙනුවෙන්

පිදේ…

දේදුන්න පුවත්පත පල වූ කාල වකවානුව තුල ක.වේ බාලකුමාරන් විසින් රචිත ලිපි 15 ක් ඇතුලත් කරමින් ” හඬක් නැතිවුන්ගේ හර්දසාක්ෂියේ හඬ” ලෙස 2004 වර්ශයේ තමිල් ඊලාම් කොටි සංවිධානය විසින් පල කෙරුනු පොත ඇසුරින් එකී ලිපි නැවත ඔබ හමුවේ පෙල ගැස්වීමට අප කටයුතු කරන්නෙමු. 2009 වර්ශය මැද භාගය වන විට දෙමල ජනයා සමූහ ඝාතනය වීමෙන්ද දකුනේ සිංහල තරුණයන් දහස් ඝනනක ජීවිත යුද්දයක ගාල් කර විනාශ කරා වූද එකී බිහිසුනු විනාශකාරී ජන පීඩක යුද්දය හ ඊටත් එහා ඉතිහාසය ගැන දෙමලාගේ ඇසින් මනසින් නොකියවූ දකුණේ සිංහල සහෝදරයන් සහෝදරියන් උදෙසා මෙම ලිපි මහඟු පිටුවහලක් සපයනු ඇතැයි අප විස්වාස කරමු.අධිපති වාදී මානසිකත්වයක් නිර්මාණය කර දෙමල සිංහල හදවත් දුරස්ත කරවූ සිංහල පාලක පාර්ශවයන් හා ඇතැම් වාමාංශික කොටස් විසින් බල තන්හාවෙන් වැපිරූ ඒක පාර්ශවීය වෛරී සහගත බීජ ගෙඩි පිටින් ගිල දමා ඇති සිංහල සහෝදර සහෝදරියන්ගේ වෛරී සහගත සිත් සතන් යලි සුව කිරීමට ඉවහල් වේ යන බලාපොරොත්තුවෙන් මෙකී ලිපි පෙළ පලකරන්නෙමු. මෙම ලිපි මාලාව තුල ඇති හරය වඩා නිවැරදි නිරවුල් ලෙස සිංහල සහෝදර හදවත් ආමන්ත්‍රණය වීමට පහසු වීමට අවශ්‍ය ප්‍රගතිශීලී ඔබේ අදහස්ද (comments) සටහන් කිරීම අගයකොට සලකන්නෙමු.

01. හඬක් නැතිවුන්ගේ හෘද සාක්ෂියේ හඬ
ආදර සොයුරු, සොයුරියනි,

සොහොයුරනි සොහොයුරියනි කියා මා ඔබ අමතන විට ඔබ පුදුමයට පත්වීමට පුලුවන. මන්ද, අපව පීඩාවට පත් කල රජයන් යටතේ සිටින ප්‍රජාව ඔබ නිසා අප දෙජාතිය අතර අදිරිවාදිකම් තිබූ නිසාය. රටේ ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය යන කඩතුරාව මුවා වී අප ප්‍රදේශයේ භූමිය අල්ලාගෙන ඉන් අප ජනතාව පලවා හරිමින් සමූල ඝාතනය කරන්න රජයන් විසින් පාවිච්චි කරනු ලැබූ සෙබලුන්ගේ අසරණ මව්පියන්, නෑ සොයුරු – සොයුරියන් ඔබයි. අමිහිරි ඇත්ත මෙන්ම යථාර්ථයද එයයි. එසේ වුවත් අද අපි ඒ සියල්ල භාරදූර නොසළකමු.

ජීවිතයේ පලමු වතාවට අප දකින අලුත් පන්නයේ වාහන වලින් A-9 මාර්ගය ඔස්සේ යාපනය සිටින සෙබළ දූ පුතුන්, සෙයුරු – සොයිරියන් බලන්න යන ඔබව අප පිළිගන්නේ සිනහ පිරි මුහුණකිනි. ඔබ මේ භූමිය හරහා ගමන් කරන විට දී අප සිත්හී ඔබට එරෙහිව වෛරයක් ක්‍රෝධයක්, නොඑසේනම් ඔබ කෙරිහි නොසැලකිල්ල කිසියම්ම මොහොතක දී හෝ දුටුවේද ? අසමගියේ හැඟීමක් ඔබ සිතෙහි ජනිත වන ආකාරයෙන් මෙහි යමෙක් හැසිරුනේද ? නැහැ නොවේද ?

බැලූ බැල්මට මේ තත්වය උදා වුනේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ විමුක්ති කොටි සංවිදානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති වූ නිසා බව පෙනේවි. එහෙත් ඔබ මෙහි එන විට මෙවන් සුහදතාවයක් පළ කිරීමට අපට හැකියාව ඇත්තේ මුල පටන්ම ඔබ කෙරෙහි වෛරයේ හැඟීමක් අප තුල නොතිබුණ නිසා බව කිව යුතුය. අන් සියල්ලටම පළමුවෙන් මේ පණිවුඩය මේ ලිපි පෙල මගින් ඔබට ප්‍රකාශ කිරීම අපේ අරමුණයි. අපි ඔබ කෙරෙහි කිසියම් හෝ අකාරයේ වෛරයකින් පසුවන්නේ නැතිබව සැකයකින් තොරව විස්වාස කරන්නයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු. අපි ඔබව පිළිගන්නා සේම, ඔබත් අපව පිළිගන්නැයි ඉල්ලමින් මම ඔබ අමතන මේ ලිපි මාලාව ආරම්භ කරමි.

අයිතිහාසික පෙරළියක් මේ මොහොතේ සිදුවෙමින් පවතී. ඒ අප සියළු දෙනාම සාමය නැමැති වචනය වටා එක්රොක් වෙමින් සිටීමයි. යුද්දයේ විනාශය අවසන් විය යුතුව ඇත. සාමයේ අභිවෘද්ධිය ආරම්භ විය යුතුව ඇත. ” ගිය දේ ගියාවේ, පමිණෙන්න තිබෙන දේ යහපතක් වේවා” වැනි අපූරු සිතුවිලි පැතිරෙමින් පවතී. පීඩාවට පත් වූවන් සහ පීඩාවට පත් කළවුන් දෙපිරිසම එක් වී සාමය අවශ්‍ය බව පැවසීම කලින් පැවති තත්වයට වඩා වැදගත් වෙනසක් බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් පීඩාවට පත්කරනු ලැබූ ජාතියක් ලෙස අප සතුව මූලික බියක් සහ දෙගිඩියාවක් පවතී.

සාමය, සංහිඳියාව යන වචනයට මුවා වී අපගේ යථාර්තය සඟවා තබාවිදෝ, වසර දහස් ගණනක් මුලුල්ලේ අපේ ආත්ම වලින් නැගුනු හඬ කිසිවෙකුට නොඇසී තිබුණා සේ මේ වතාවේත් එය ඔබටවත් නොඇසී තිබේවිදෝ කියා සාංකාවක් අප තුළ පවතී. කාලාන්තරයක් මුලුල්ලේ අප නැගූ හඬ ඔබ වෙත ගලා ඒම වළකාලනු පිනිස පැවති රජයන් හොදින් වගබලා ගත්තේය. යුක්තිය සඳහා වන අපේ හඬට සවන් දෙන්න දැන්වත් ඔබ පෙරට එන්න. පෙරට ඇවිත් සුදානම් වන්න. කාළයක් මුලුල්ලේ අප පිළිබදව ඔබ අතර පතුරුවනු ලැබූ මිත්‍යාවන්ගෙන් මිදී අප පිළිබදව ඇත්ත දැනගන්න ඉදිරිපත් වන්න. පරම්පරා ගණනාවක් මුලුල්ලේ නීත්‍යානුකූල ලෙස අප මත පැටවූ පීඩාව,ඝාතනය, හිංසාව, ලිංගික අපරාධ, බඩගින්න හේතුවෙන් අපේ ආත්මවලින් ගලා හැලී මේ බිමේ හැම තැනකම තැවරී තිබෙන ලේ පැල්ලම් පිසදා දමන්න එන්න. පිසදා දමා සැනසීමේ වචනයක් කියන්න අපට කියන්න එන්න.

ඇත්ත කුමක්දැයි සොයන කොමිෂන් සභා බවට ඔබ පත්විය යුතුය. අවංක ඓතිහාසික ගවේශණයක නියැලෙන්න. නිසැකවම ලක්ෂ සංඛ්‍යාත සාක්ෂි ඔබට සොයාගනු හැකිවනු ඇත. තිරසාර සාමයකට මග සැලසෙන්නේ අප සමග සහෝදරත්වයෙන් යුතුව යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් ඔබ තබන පියවරයන්ගෙන් පමණි. ඔබ අප දෙස සහෝදරත්වයෙන් බැලීමෙන් පමණක් මම පහතින් සඳහන් කරන දෑ ඔබට අවබෝධ වනු ඇත. අප ගැන ඔබේ පැත්තේ සිටිනා අය කරන දොෂාරෝපණයන් සහ චෝදනාවන්හී තිබෙන මෝඩකම් ඔබට අවබෝධ වනු ඇත. අපේ සන්නද්ධ විමුක්ති අරගලය ජනිත වන්නේ සිංහල ආණ්ඩුවල රාජ්‍ය ත්‍රස්තවාදය හේතු කොටගෙන බව ඔබට අවබෝධ වනු ඇත.

“මේ බලන්න, කොටින් කරන අපරාධ” කියා අප විසින් ඝාතනය කලේ යැයි කියන අයගේ ජායාරූප පෙන්වමින් ඔබව කුපිත කරවන අය විසින්ම 1956 සිටම ඝාතනය කරනු ලැබූ අපගේ ජනතාවගේ ජයාරූප ඔබට නොපෙන්නුවේ ඇයි ? මේ දක්වාම කොළඹ කුමන ප්‍රධාන මාධ්‍යයකින් හෝ අප ජනතාව අප ජනතාව අත්දුටු සමූල ඝාතනයන් කිසිඳු විදියකින් හෝ හෙළිකර තිබේද ?. ඔබ මේ ප්‍රශ්න වලට සැබෑ පිළිතුරු සොයා ගැනීමෙන් ජාතීන් අතර මේ තරම් අර්බුදයක් පැන නැගුනේ ඇයි ? එය මහාපරිමාණ යුද්දයකට පෙරලුනේ ඇයි ? නිරායුද දෙමළ ජනයා 75000 ක් ඝාතනය වුනේ ඇයි ? භද්‍ර යෞවනයේ පසුවන අවිගත් දෙමල තරුණ – තරුණියන් 17600 ක් ජීවිතයෙන් මුලින්ම උදුරාදැමුවේ ඇයි ? දෙමළ ජනතාව සතු කෝටි ගණනක දේපල විනාශ වුනේ ඇයි ? ආදී සියල්ලට පිළිතුරු ඔබට අවබෝධ වනු ඇත. මේ සියල්ල මෙලෙස සිද්දවෙනු පිණිස දියත් කරනු ලැබූ සැළසුම් සහගත කුමන්ත්‍රණයන් හෙලිවනු ඇත. අපේ සැබෑ තත්වය පිලිබඳව පූර්ණ අවබෝධයක් ඇති කර ගන්නැයි අපි ඔබට ඇරයුම් කරමු.

අපි එක කරුණක් ඉතා පැහැදිලිව ඔබ හමුවේ තබමු. අතීත සිදුවීම් ආවර්ජනය කරමින් තුවාල පාරාගෙන රිද්දා ගැනීමට අපි කිසිසේත් කැමති නොවෙමු. “බොස්නියාවේ සර්බියානුවන් තම ඉතිහාසය අමතක කළෙත් නැහැ, ඒ වුණාට ඉතිහාසයෙන් ඉගෙන ගත්තෙත් නෑ” යි කියා සර්බියානුවන් වෙත ලෝක මාධ්‍ය විසින් එල්ල කරන චෝදනා අපට විරුද්දව නගනවා දකින්නට අප කැමති නොවෙමු. එලෙසම එම චෝදනාවම ඔබට විරුද්දව නගනවා දකින්නට ද අපි කැමති නොවෙමු. “පරණ තුවාල පාරන වුන්ට අනාගතයක් නැතැයි” යි කියන සිද්ධාන්තය අප තරම් විස්වාස කරන වෙන අයෙක් සිටීත්ද? මන්ද, අප වනාහී කිසිවෙකුටවත් කිසිදා අහිමි නොවිය යුතු දෑ සියල්ල අහිමි කරනු ලැබූ ජාතියකි. අහිමි කරනු ලැබූ දෑ අතීතය සතුය. එහෙත් අහිමි කරගනු ලැබීමට අකමැති දෑ අනාගතය සතුය. අපේ බලාපොරොත්තුව එයයි. එහෙත් අලුත් තුවාල ඇති නොවිය යුතුය. ඒ සදහා දැනට ඇතිව ඇති සටන් විරාම ගිවිසුම හේතුවෙන් ජනිතව තිබෙන අවබෝධය අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් තිර සාර සාමයකට මඟ පාදා ගනු පිනිස අපි ඔබ සමග මෙසේ සාකච්චා කරමු. නැතහොත් අප දෙපිරිස අතර කාලයක් මුලුල්ලේ සැලසුම් සහගත ලෙස නිර්මාණය කරනු ලැබූ පරතරය දිගටම පවතිමින් තවත් වටයකින් සැක සංකා අලුතින් නිර්මාණය වීම වැලැක්විය නොහැක.

කලාන්තරයක් මුලුල්ලේ පිඩාවට පත් කරනු ලැබූ අප ජනතාවගේ යථාර්තය පියවරෙන් පියවර මේ ලිපි මාලාවෙන් ඔබ හමුවේ තබන්නට මම බලාපොරොත්තු වෙමි. පැහැදිලි උදාහරනයක් ගෙනහැර පාන්නට ඉඩ දෙන්න. ඔබේ දැක්ම සහ අපේ දැක්ම අතර ඇති පරතරය බලන්න. මෙම සටන් විරාමය මන්දගාමීව ඇදෙමින් තිබෙන බව ඔබට හැඟෙනවා ඇත. අප ඉල්ලා සිටින්නේ අප ප්‍රදේශයේ ජනතාවගේ ගෙවල් දොරවල් වලින්, ඉඩකඩම් වලින්, යන එන මහපාරෙන්, කුඹුරෙන්, පාසැල් වලින්, ආගමික ස්ථාන වලින් සහ පොදු ස්ථාන වලින් හමුදා ඉවත්විය යුතු බවය. හමුදා සෙබලුන් මේ ආකාරයෙන් රැදී පැතිරී සිටින විට අපට අත් දකින්නට වන වේදනාව, අවමානය හා කෝපය ඔබට දැනෙන්නේද ? මේ ගැන රජයන් විසින් ඔබට අර්ථ දක්වා තිබෙන්නේ කෙසේද ? හමුදාව රැදී සිටින්නේ අප ජනයාගේ ආරක්ෂාව පිණිස කියාය. එවිට …..? කාගෙන් කවුරු ආරක්ෂා කරන්නද ? මෙම තත්වය අප දකින්නේ අප ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කරමින් තම ආධිපත්‍ය (Supremacy) පෙන්වන නග්න ආක්‍රමණයක් ලෙසිනි.

අපම අත් දකින අපේ යථාර්තය ගැන අප එලෙස දකිද්දී ඒ ගැන ඔබ අතරින් මතුව එන ඇතැම් ප්‍රතිචාර අප තුල දැනටමත් තිබෙන වේදනාව දෙගුණ – තෙගුණ කරයි.

“හමුදා කඳවුරු ඉවත්කිරීමෙන් කොටින්ට යුද්දයෙන් දිනාගත නොහැකි වූ දේ දිනාගන්න ලෙහෙසියෙන් හැකිවේවි.”

“බරපතල මිලක් ගෙවා හමුදාව අත්පත් කරගත් ජයග්‍රහණයන් රජය දැන් පාවා දෙන්න හදයි.” – මේ ප්‍රතිචාර වලින් හැඟවෙන්නේ අප සතුරු ජනතාවක්, සතුරු රටක් කියා නොවේද ? එම ප්‍රතිචාරවල බරපතලකම් ඔබට නොවැටහෙන්නේද ?

අපව තේරුම් ගන්න නම් ඔබ අප ඉතිහාසයේ පිටු පෙරළා බැලිය යුතුය. අප පළාත්වල කොයි කාලයේ, කුමන හේතුවක් මතද හමුදා යවන ලද්දේ ? එසේ සිදුවුනේ විමුක්ති කොටි සංවිදානය බිහිවන්නට බොහෝ කාලයකට පෙර නොවේද ? සත්තකින්ම ’60 දශකයේ දී අපේ ගම්බිම්වලට හමුදාව එවූ නිසා නොවේද, ? විමුක්ති කොටින් බිහිවන්නේ ’70 දශකයේ දීය. මේ ඇත්ත ඔබට අවබෝධ කරගත හැකිද ? කලාන්තරයක් මුලුල්ලේ අපේ දේශපාලන නායකයින් අවිහිංසාවාදී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල පිහිටා අපේ ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒවා එක හෙලා ප්‍රතික්ෂේප කරණු ලැබිණ. පසුව එම ඉල්ලීම් යුක්ති සහගත යැයි පවසා ගිවිසුම් වලට එළැබුණි. අනතුරුව එම ගිවිසුම් ඒක පාර්ශවිකව ඉරා දමනු ලැබීය. එසේ වූයේ අපේ පැත්තෙන් නොව, ඔබේ පැත්තෙන් මතුව ආ දරුණු බලපෑම් හේතුවෙනි.

සිංහල පමණක් රාජ්‍ය භාෂාව කර, එය දෙමළ අප මත බලෙන් පටවනු ලැබිණ. ඊට විරුද්ධව අපේ දේශපාලන නායකත්වය අවිහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සිය විරෝධය පෑවේය. ගාලු මුවදොර සත්‍යග්‍රහයේ යෙදී සිටි ඔවුන්ට නින්දිත ලෙස පහර දෙනු ලැබුනි. 1961 පෙබරවාරී මාසයේ උතුරු – නගෙනහිර හැම කච්චේරියක් ඉදිරිපිටදීම දෙමළ දේශපාලන නායකයන් සහ ජනතාව සත්‍යග්‍රහයේ යෙදී සිටිය දී සිරිමාවෝ මැතිණිය කලේ කුමක්ද ? හදිසි නීතිය යොදවමින් අවිහිංසාවාදීව ගෙනගිය විරෝධය රාජ්‍ය හමුදාව යොදා හිංසාකාරීව මර්ධනය කරමින් සිය නග්න ආධිපත්‍යය හෙලි කිරීමයි. එදා අප වින්ද අවමානය සහෝදර ඔබට අවබෝධ කරගත හැකිනම්…., එකල සන්නද්ධ අරගලයක් පැවතුනේද ? නිරායුදව සත්‍යග්‍රහයේ යෙදුනු ජනතාවක් ආයුද සන්නද්ධ හමුදාවක් විසින් තලා – පෙලා පොඩිපට්ටම් කර දැමීම, ඉන්පසු බිහි වූ එම ජනතාවගේ දූ පුතුන් ආයුද සන්නද්ධව පෙරළා සටන් කිරීමට හේතු වූවා නොවේද ? මෙය තේරුම් ගැනීමට අපහසු තර්කයක් නොවේ. ඒත් බොහෝ දෙනෙක් මෙය තේරුම් නොගන්නේ ඇයි ? යුද්දය නැතුව ජීවත්වීමට අවශ්‍ය නම් යුද්දය ඇතිවීමට මුල් වූ හේතු ඉවත් විය යුතු නොවේද ? මෙයද පහසුවෙන් තේරුම්ගත හැකි තර්කයකි.

යුක්ති සහගත දේශපාලන විසඳුමකින් පමණක් විසඳිය හැකි මේ අර්බුදය විසඳීම සඳහා පවතින සටන් විරාමය එක් හා පළමු පියවරක් පමණි. ඒත් සටන් විරාමය යනු විසඳුම නොවේ. සටන් විරාමය හේතුවෙන් ඔබද අපද A9 මාර්ගය ඔස්සේ නිදහසේ ගමන් කිරීම හොඳය. ඒත් යාපනය අර්ධද්වීපය පුරා හමුදා කඳවුරු ඉදි වී තිබීම සාමය නොවේ. හමුදා ආක්‍රමණයකින් තොරව බියෙන් සැකෙන් මිදී ජීවත් වීමට ඔබ කැමති වන්නේ යම් සේද, අප තුළ ද එවන් වූම කැමැත්තක් තිබෙන බව ඔබ විසින් පිලිගැනීම අපේ අභිලාෂයයි. සාමය උදාවීම සඳහා අවම වශයෙන් එම අභිලාෂයන් ඉටු වී, ඔබ අත්දකින්නා සේ සාමාන්‍ය තත්වයක් අප ද අත්දැකිය යුතුය. මෙය ද පහසුවෙන් තේරුම් ගත හැකි තර්කයකි.

ආදරණීය සොහොයුරනි – සොහොයුරියනි,

අපේ හදවතේ ගැඹුරුම පත්ලෙන් එන හැගීම තේරුම් ගන්න. ඔබ අතරින් සමහරෙක් අපේ ආත්මීය හඬට කන්දෙන්න දක්වන මැලිකමත්, දෙගිඩියාවත් අපව මහත් සේ වේදනාවට පත් කරයි. ඒ වේදනා ඉක්මණින් දුරුවනු ඇතැයි අප පතමු. ඒ සඳහාම ඒ වේදනාවන් නිර්මානය කළ ඉතිහාසය සවිස්තරාත්මක ලිපි පෙළක් මගින් ඔබගේ මතකය තුළ ජීවමාන කරවීම මේ ලිපි පෙළෙහි අරමුණයි. ඒ පැරණි තුවාල පෑරීම පිණිස නොවේ, යළි එකිනෙකාට තුවාල කරනොගන්නා අනාගතයක් වෙනුවෙනි.

(ක.වේ. බාලකුමාරන්)
නැවත සටහන් කිරීම |අකුණ|

Facebook Comments

wedding people