බුද්ධාගම ලංකාවෙන් අතුගා දැමීමේ “කිසිම අදහසක් නෑ” මෙතෝදිස්ත සභාව (VIDEO)

0

ශ්‍රී ලංකාවේ බෞද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය විදේශ කුමන්ත්‍රණ මගින් අහෝසි කොට රාජ්‍යය අල්ලා ගැනීමේ සැලසුමක් ඇතැයි සංඝයා වහන්සේ වෙතින් පලවන භීතිකාව තුරන් කිරීමට මෙතෝදිස්ත සභාව ඉදිරිපත්ව සිටී

බුද්ධාගම හෝ වෙනත් කිසිදු ආගමක් මෙරටින් අතුගා දැමීමේ අදහසක් කිසිදු ක්‍රිස්තියානි සභාවක නැති බවට ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ අගරදගුරු හිමියෝ සහතික කරති.

“ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව කියන්නේ අවුරුදු 205 ක් තිස්සේ මේ රටේ පවතින සභාවක්, අපි මුළු ලංකාව පුරාම විහිදිලා තියෙනවා. බෞද්ධ හින්දු මුස්ලිම් යන අනෙකුත් ආගම් තුනේම ආගමික නායකයන් හා ජනතාව එක්ක එකට වැඩ කරන සභාවක්. නැතුව මේ අපිට අවශ්‍යතාවයක් නෑ මේ රටේ තියෙන බෞද්ධ ආගම සම්පුර්ණයෙන්ම අතුගාලා දාලා, මුස්ලිම් ආගම අතුගාලා දාලා, හින්දු ආගම අතුගාලා දාලා අපි විතරක් ඉන්න ඕන කියල එහෙම කිසිම අදහසක් නෑ කිසිම ක්‍රිස්තියානි සභාවක එහෙම මතයක් නෑ.”

ශ්‍රී ලංකාවෙන් බුද්ධාගම තුරන් වෙතැයි භික්ෂුන් හට බියක් පවතින බවට විශ්වාසය පළ කළ මෙතෝදිස්ත සභාවේ නායක ආසිරි පී පෙරේරා අගරදගුරු හිමියෝ “අනේ මම ඔබවහන්සේලාට විශේෂයෙන් කියනවා, අයියෝ අපිට ඔබ වහන්සේලාගේ ආගම අතුගාලා දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ,” යි අවධාරණය කළහ.

කිතුනු භක්තිකයන් ද මෙරට පුරවැසියන් බැවින් බොරු චෝදනා එල්ල නොකර ඔවුන් හටද ආගම ඇදහීමේ නිදහස ලබා දෙන ලෙස ආසිරි පී පෙරේරා අගරදගුරු තුමෝ බෞද්ධ නායකත්වයෙන් ඉල්ලා සිටියහ.

මහියංගනයේ නිවසක දේව මෙහෙය පවත්වමින් සිටි පුජකවරයෙකුට බෞද්ධ භික්ෂුන් විසින් පහර දී තිබු අතර පුජනීය හා සංස්කෘතික අංගයක් වු ඇසළ පෙරහැර පැවැත්වෙන වකවානුවක බෞද්ධ නොවන අන්‍යාගමික පුජකයෙකුට අමානුෂික ලෙස පහර දීම ගැන ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ නායක පියතුමන් සිය කනස්සල්ල පළ කළේය.

මිනිපේ, මොරයාය ශ්‍රී නාගවනාරාමාධිපති කලවල සුජාත හිමියන් කැටුව පැමිණි දෙහිගොල්ල රතන හිමි ඇතුළු භික්ෂුන් තිදෙනකු ප්‍රහාරයට එක්වූ බව පහර දීම සම්බන්ධයෙන් හසලක පොලිස් ස්ථානයට කරන ලද පැමිණිළි වල සඳහන් වෙයි.

ප්‍රහාරයට ලක්වූ 32 හැවිරිදි වේදමුත්තු ජෙසුදාසන් සහෝදර තුමා වතුපිටිවල රෝහලට ඇතුල්වී ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පහර දීමට සැක භික්ෂුන් සම්බන්ධව ගත් නීතිමය ක්‍රියා මාර්ගයක් සම්බන්ධව මේතාක් දැනගනුනට නැතැයි ආසිරි පී පෙරේරා අගරදගුරු හිමියෝ සඳහන් කළේය.

මේ අවුරුද්දේ ගතවූ හත් මාසය තුල කිතුනු විරෝධී ප්‍රහාර හැටකට වඩා සිදුකොට ඇති බව ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය වාර්තා කරයි.

Facebook Comments

wedding people